Chamila Karawita reporting from Pallekele
නායක ක්‍රේග් අර්වින්ට එකතු වුණු ෂෝන් විලියම්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක විශිෂ්ඨ සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත්වීම නිසා නියමිත පන්දුවාර 50 අවසනදී ලකුණු 303 ක ඉලක්කයක් සත්කාරකයින් වෙත ලබා දීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (18 දා) සමත්විය.
පෙර තරගයේ පරිදිම 40 වැනි පන්දුවාරය වන තෙක් කඩුලු ආරක්ෂා කරගත් සිම්බාබ්වේ පිතිකරුවෝ අවසන් පන්දුවාර 10 දී ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළහ. එම පන්දු 60 දී ලකුණු 70 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් උදුරාගැනීමට සිකන්දර් රාසා ප්‍රමුඛ මැද පෙළ පිතිකරුවෝ සමත්වූහ.
පළමු පන්දුවාරයේදීම ලකුණු 14 ක් රැස් කරමින් ලකුණු ලබා ගැනීම ඇරැඹූ සිම්බාබ්වේ පිතිකරුවන් අතරින් පළමු තරගයේදී ශතක ලාභී ෂෝන් විලියම්ස් අර්ධ ශතකයට ලකුණු 2 ක් තිබියදී විශිෂ්ඨ ස්ටම්ප් කිරීමකට හසුකරගැනීමට කුසල් මෙන්ඩිස් සමත්විය.
පිට පිට දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනා ගැනීම නිසා පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල වෙනුවෙන් යළිත් ශක්තිමත් ආරම්භයක් එක් කිරීමට ටකුඩ්වනාශේ කයිතානෝ සහ රෙගිස් චකබ්වා සමත්වූහ. පළමු තරගයේ කාබන් කොපියක් බඳු වූ ජෙෆ්රි වැන්ඩර්සි විසින් පළමුව කයිතානෝව දවා ගත් අතර අනෙක් පිතිකරුවා වූ චකබ්වාවද (47) මුලු ලකුණු සංඛ්‍යාව 90 ක් වන විට ක්‍රීඩාගාරයට යැවීමට සමත්විය. සිම්බාබ්වේ නායකයාට අමතරව ලකුණු 50 සීමාව ඉක්මවාලූ එකම පිතිකරුවෝ වූයේ සිකන්දර් රාසා වන අතර අවසන් පන්දුවේදී ඔශු දැවී යන විට පන්දු 46 කදී ලකුණු 56 ක් රැස් කරගෙන සිටියේය.
පළමු තරගයේ විලියම්ස් කළ වගකීම අද දිනයේදී නායකයා වූ අර්වින් විසින් සිදුකළ නමුත් තීක්ෂණගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල සොයා යෑම නිසා ශතකය කරා යෑමේ අවස්ථාව ඔහුට අහිමිවිය. පන්දු 98 කදී ගොඩ නැංවුණු ලකුණු 91 ක ඉනිම සඳහා අර්වින් හතරේ පහර 10 ක් පමණක් ඇතුළත් කළේය.
නිරන්තරයෙන්ම පන්දුවාරයකට ලකුණු 6 ක දළ වේගයක් රඳවා ගැනීමට සමත් වුණු සිම්බාබ්වේ පිතිකරුවන් මට්ටු කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේම සේවය ලබා ගත්තද සංචාරකයෝ ලකුණු 300 කඩඉම ඉක්මවාලූහ. කණ්ඩායම සතු ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වූ නුවන් ප්‍රදීප්ව පන්දුවාර 10ම යැවීම සඳහා යොදා ගත් අතර කඩුලු 2 ක් දවා ගැනීමේදී පිතිකරුවෝ ලකුණු 74 ක් රැස් ගෙන තිබිණ. පන්දු යැවීමෙන් තරමක් හෝ තර්ජනයක් වූයේ නම් ඒ මහීෂ් තීක්ෂණ පමණි. වැන්ඩර්සිගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් සටහන් වුවත් ඉන් දෙකක්ම කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ස්ටම්ප් කිරීම් වලට හසුවූ කඩුලු විය. රෙගීස් චකබ්වා සහ ෂෝන් විලියම්ස් ස්ටම්ප් කිරීමටවලට හසුව දැවී ගිය පිතිකරුවෝ වූහ.