slc
logo
Home   |    News
පෙබරවාරි 27, 2022
අයියර් සහ ජඩේජා ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමති

sinhala editor

පන්දුවාරයකට ලකුණු 10 කට ආසන්න වේගයක් රඳවා ගැනීමේ අභියෝගයක් පැවැතියද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉන්දීය පිතිකරුවන් පාලනයකට නතු කර ගැනීමට නොහැකිවීම මත දෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පෙබරවාරි 26 වැනිදා සිදුවිය. ධර්මසාලාහි පැවැති මෙම තරගයේ ජයත් සමඟ තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ඉන්දියාව සමත්වී සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා පන්දු යවන්න්නට දැඩි ප්‍රහාරයකට ලක් කළ ශ්‍රෙයාස් අයියර් සහ රවීන්ද්‍ර ජඩේජා ජයග්‍රහණයේ නියමුවන් බවට පත්වූහ. හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් පන්දු 44 කදී නොදැවී වාර්තා කරන ලකුණු 74 ක ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද අයියර් පිදම් ලැබීය. ඊට නොදැවෙනි ඉනිමක් දියත් කළ රවීන්ද්‍ර ජඩේජා පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින් වේගවත් ලකුණු 45 ක් ලබා ඉන්දීය ජයග්‍රහණය ඉක්මන් කළේය. මොවුන් දෙපළගේ පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ජයග්‍රහණය සනිටුහන් වූයේ තවත් පන්දු 17 ක් සහ කඩුලු 7 ක් ලකුණු පුවරුවේ ඉතිරි කරමිනි.

ලකුණු හඹා යෑමේදී පළමු පන්දුවාරයේදීම නායක රෝහිත් ෂර්මාව දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත්විය. පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් වූ දැවී යෑමක් ලෙස එය සටහන් වද්දී විස්සයි-20 තරග රටාවේ එකම පිතිකරුවකු 5 වරක් දවා ගත් ලොව පළමු සහ එකම පන්දු යවන්නා වූ ලෝක වාර්තාව දුෂ්මන්ත සිය නම ඉදිරියෙන් සනිටුහන් කරගත්තේය. මීට පෙර චමීරගේ පන්දු හමුවේ රෝහිත් ෂර්මා සිව් වතාවක් දැවී ගොස් තිබේ.

පළමු පන්දුවාර 8 තුළදී කඩුලු 2 කට ලකුණු 56 ක් වශයෙන් ඉන්දීය පිල පාලනයේ තබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වද්දී අවසන් පන්දුවාර 12 දී ඉන්දීය ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක් අවශ්‍ය විය. එහිදී ශ්‍රෙයාස් අයියර්ව සංජු සැම්සන් එක්ව 13 වැනි පන්දුවාරය යැවූ ළහිරු කුමාරගේ ලකුණු 23 ක් ලබා ගනිමින් ජයග්‍රාහී පරතරය පන්දු 42 කදී ලකුණු 56 ක් දක්වා වූ මට්ටමට අඩු කරගත්හ. සංජු සැම්සන්ගේ දැවී යෑමත් සමඟ පිටියට පිවිසි රවීන්ද්‍ර ජඩේජා පන්දු 18 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 45 ක ඉනිම හේතුවෙන් අපහසුවකින් තොරවම තරග ජය ගැනීමට ඉන්දියාවට හැකියාව ලැබිණ.

පළමු පන්දුවාර 16 අවසන් වද්දී කඩුලු 4 කට ලකුණු 111 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාර 4 දී ලකුණු 72 ක් එක් කිරීමට නායක දසුන් ශානක සහ පැතුම් නිස්සංක සමත්වූය. පන්දු 24 කදී වාර්තා වුණු එම සම්බන්ධතාවයේදී අවසන් පන්දුවාරය යැවූ හර්ෂාල් පතෙල්ගේ අවසන් පන්දු දෙකට එල්ල කරන ලද හයේ පහර 2 ත් සමඟ තවත් හයේ පහර 3 කින් සිය ඉනිම සරසාගත් ශ්‍රී ලංකා නායකයා නියමිත පන්දුවාර 20 අවසන් වන විට පන්දු 19 කදී නොදැවී ලකුණු 37 ක් ලබා සිටියේය. හතරේ පහර 2 ක්ද ඇතුළත් වුණු ශානකගේ ඉනිමත් පන්දු 53 කදී හතරේ පහර 11 ක් සමඟ පැතුම් නිස්සංක රැස් කරන ලද ලකුණු 75 ත් නිසා ලකුණු 184 ක අභියෝගයක් සත්කාරකයින්ට ලබා දීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව ජනිත් ලියනගේ වෙනුවට ධනුෂ්ක ගුණතිලකවද ජෙෆ්රි වැන්ඩර්සි වෙනුවට බිනුර ප්‍රනාන්දුවද කැඳවමින් අවතීර්ණ වද්දී පැතුම් නිස්සංකට හොඳ සහයෝගයක් ලබාදීමට ගුණතිලක සමත්විය. ඒ පළමු කඩුල්ලට ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩ නැංවීම වෙනුවෙන් පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ද සමඟ ගුණතිලක ලකුණු 38 ක් ලබා ගනිද්දී පැතුම් නිස්සංක සිය විස්සයි-20 තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගය පෙබරවාරි 27 වැනිදා ධර්මසාලාහිදීම පැවැත්වේ.  

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar