slc
Home   |    News
පෙබරවාරි 23, 2022
නිලකුණු පන්දු අවමකොට ඉන්දියාවට සටනක් දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි

sinhala editor

By Chamila Karawita

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත විස්සයි-20 අවසන්ව සිව් දිනක් ඉක්ම යන්නට මත්තෙන් ශ්‍රී ලංකාව යළි ඉන්දියාව මුණ ගැසෙයි. ඒ හෙට (24 වැනිදා) ලක්නව්හි පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයේදීය. මෙම තරගාවලියට ශ්‍රී ලංකාව පැමිණෙන්නේ 4-1 ක් වශයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් වුවත් අවසන් තරගයේදී යළි දක්ෂතා අතරට පැමිණෙමින් ලෝක ශූර ඔස්ට්‍රේලියානුවන් පරාජයට පත් කිරීමට සමත්වීම හෙටින් ඇරඹෙන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අධිෂ්ඨානශීලී ශක්තිය වැඩිකරවීමට උත්පේරකයකි.

ආධුනික ක්‍රීඩකයින් බහුතරයකගෙන් ශ්‍රී ලංකාව සමන්විත වුවත් දේශීය තත්ත්වයන්ට හාත්පසින්ම වෙනස්ව පවතින ඔස්ට්‍රේලියානු තණතීරුවල ඔවුන් දක්වන ලද ක්‍රීඩා විලාශය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එය සතුටට කරුණකි. මන්ද යත් දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ සුපිරි පන්දුවාරය දක්වා තරගය රැගෙන එමිනි. තරගය තුළ සිදුවූ ඇතැම් විනිසුරු තීරණ වැරදි නොවන්නට, එම තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වන බව කීවේ වෙන අයෙකු නොවේ. විස්තර විචාරයේ යෙදී සිටි හිටපු ඔස්ට්‍රේලියානු පා දඟ ලන්දු යවන ෂේන් වෝන්මය. ඒ එක් තරගයකි. අනෙක් අවසන් තරගයයි. පිට පිටම තරග 4 ක් පරාජයට පත්ව සිටින අවස්ථාවකදී ප්‍රතිවාදීන්ගේ දේශයේදී යළිත් දක්ෂතා අතරට පැමිණ තරගයක් ජය ගැනීම අතිශය අසීරු කරුණකි. එහෙත් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් දසුන් ඇතුළු ශ්‍රී ලංකා පිල ගෞරවාන්විතව ඉන්දියාව බලා පැමිණීමට අවකාශ උදා කරගත්තේය.

සංඛ්‍යාත්මක වශයෙන් ගත් විට ශ්‍රී ලංකාව එම තරගාවලියෙන් 4-1 ක පරාජයක් ලබා ඇත. එහෙත් එම තරග පරාජයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වූ අවසන් තරගයේදී ඉනිමේ වාර්තා වුණු නිලකුණු පන්දු සංඛ්‍යාව සෙසු තරග 4 ටම වඩා අඩුය. එය සංඛ්‍යාත්මකව ගත් විට 34 කි. සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු තරගයේද ශ්‍රී ලංකා ඉනිමේ නිලකුණු පන්දු වාර්තාවී ඇත්තේ 40 ට අඩුවෙනි. එනම් 38 කි. පරාජයට පත් වුණු අනෙක් තරග වූ පළමු තරගයේදී පන්දු 63 ක්, තෙවැනි තරගයේදී 57 ක් සහ සිව්වැනි තරගයේදී 45 ක් වශයෙන් නිලකුණු පන්දු සටහන් වී තිබේ. මේ අනුව පැහැදිළිවම පෙනී යන්නේ ශ්‍රී ලංකා පිලේ පරාජයට සෘජු හේතුවක් ලෙස ඉනිමේ නිලකුණු පන්දු වැඩි සංඛ්‍යාවක් වාර්තා වීම වේ.

“අපි බලන්න ඕන ඇයි ඩොට් බෝල්ස් (නිලකුණු පන්දු) වදින්නේ කියලා. අපි හැම වෙලේම විකට් දෙකකක් තුනක් ගියහම ඊළඟට එන පිතිකරුට පීඩනයක් තියෙනවා. අපි ඒක අවම කරගත්තොතින් නිලකුණු පන්දුවාර ප්‍රතිශතය අඩු වෙනවා. අන්තිම තරගෙ ඒක අඩු වුණා. ඒක තමයි විය යුත්තේ” යැයි හෙටින් ඇරඹෙන තරගාවලියේදී කණ්ඩායම ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක දසුන් ශානක සඳහන් කර සිටියේය.

“විකට් වැටුණොත් ඊළඟට පිතිකරුට කාලයක් යනවා ස්ථාවර වෙන්න. ඉතිං ඕක තමා ඩොට් බෝල්ස් යනවා කියලා ලොකුවට කතා වෙන්නේ. අපි දන්නවා මොකද්ද එතන වෙන්නේ කියලා. කණ්ඩායමක් විදියට කඩුලු වට්ටගන්නේ නැතුව පළවැනි පන්දුවාර 8, 9 ක්‍රීඩා කරන්න පුලුවන් නම් අපිට අනිවාර්යයෙන්ම නිලකුණු පන්දු සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වාගෙන යන්න පුලුවන්” යැයිද දසුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ප්‍රබල ඉන්දීය පිලට එරෙහිව ඇරඹෙන පළමු තරගයට පෙර ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන ක්‍රීඩකයින් තිදෙනකුට තරග වැදීමේ අවස්ථාව අහිමිවීම තරගාවලි ආරම්භයේදී ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටින බරපතලම ගැටළුව බවට පත්ව තිබේ. එහි මූලිකයා වන්නේ තුන් ඉරියව් ක්‍රීඩාක වනිඳු හසරංගය. ඔස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගිව සිටින අතරතුරදී කොවිඩ් වෛරසය ආසාධනය වුණු වනිඳු, රටින් පිටවීම සඳහා සිදුකරන ලද පරීක්ෂණයද ධාන්තමක වීම හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා පිල සමඟ ඉන්දියාවට පැමිණීමට අවස්ථාව අහිමිවිය. එබැවින් ඔහුට හෙට පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමේ අවකාශ අහිමිවේ.

” මම හිත්නනේ ඔහුට ඉතුරු තරග 2 කට සහභාගිවන්න පුලුවන් නම් කණ්ඩායමට ලොකු වටිනාකමක් තියෙනවා. අපේ බලාපොරොත්තුව වෙලා තියෙන්නෙත් ඔහු ඉක්මනින් හොඳ වෙලා කණ්ඩායම සමඟ එකතුවේවි කියන එක” යැයි ලොව අංක 1 විස්සයි-20 පන්දු යවන්නා හෙට තරගයේදී අහිමිවීම පිළිබඳව ශ්‍රී ලංකා නායකයා අදහස් දක්වා සිටියේය.

ඔහුට අමතරව අවසන් තරගයේදී අර්ධ ශතකයක් ලබමින් තරගයේ වීරයා බවට පත් වුණු කුසල් මෙන්ඩිස් මෙන්ම දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණද සුලු සුලු ආබාධයන් වලට ගොදුරුව තිබීම නිසා හෙට තරගයට ක්‍රීඩා කිරීම පිළිබඳව ඇත්තේ අවිනිශ්චිතභාවයකි. ඔවුන් දෙදෙනාගේ සහභාගිත්ව රඳ පවතිනුයේ අද පස්වරුවේ සිදුකරන ලද එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව බව දසුන් ශානක සඳහන් කර සිටියේය.

හෙටින් ඇරඹෙන දෙරට අතර තරගාවලියේ ජය ශ්‍රී ලංකා පිල අත්කර ගැනීම ශ්‍රී ලංකා පිලට වඩාත් තීරණාත්මක වනු ඇත. ඒ අන්තර්ජාතික විස්සයි-20 රටවල් ශ්‍රේණිගත කිරීමෙහි තවදුරටත් අඩියටම වැටීමේ අවධානමකට ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටින නිසාය. එම සටහනේ ඉදිරියෙන්ම පසුවන ඉන්දියාවට එරෙහිව තරගයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වන්නේ නම් කිසිදු අපහසුවකින් තොරව ශ්‍රේණිගත කිරීමේ පහළට යෑම වළක්වාගැනීමට අවස්ථාව උදාවනු ඇත.

ඉන්දීය කඳවුර ගත් විට රෝහිත් ෂර්මා නායකත්වය ලබා දුන්නද ඔවුන් සතු ප්‍රධානතම බර අවි වන විරාත් කෝලි, රිෂාබ් පාන්ට් මෙන්ම ෂර්දල් ඨාකූර් යන ක්‍රීඩකයින් විවේක ගන්වා තිබේ. ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේදී මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති තරග සංචාරයේදී දක්ෂතා අතරට පැමිණී සූර්යකුමාර් යාදව් සහ දීපක් චහර් ද ආබාධ වලට ලක්වී සිටින බැවින් හෙට තරගයේදී ඔවුන්ගේ සේවය ඉන්දියාවට අහිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක) චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කමිල් මිශාර, ජනිත් ලියනගේ, ජෙෆ්රි වැන්ඩර්සි, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම අෂේයින් ඩැනියෙල්.

ඉන්දියානු කණ්ඩායම – රෝහිත් ෂර්මා (නායක), ජස්ප්‍රිට් බුම්රා (උප නායක), රුටුරාට් ගයික්වාඩ්, ශ්‍රෙයාස් අයියර්, සංජු සැම්සන්, ඉෂාන් කිශාන්, වෙන්කටේෂ් අයියර්, දීපක් හූඩා, රවීන්ද්‍ර ජඩේජා, යුස්වේන්ද්‍ර චෙහල්, රවී බිෂ්නෝයි, කුල්දිප් යාදව්, මොහොමඩ් ශිරාජ්, බුවනේෂ්වර් කුමාර්, හර්ෂාල් පතෙල්, ආවේෂ් ඛාන්.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest