slc
logo
Home   |    News
පෙබරවාරි 11, 2022
පිතිකරුවන්ගේ දුර්වලතාව නිසා ශ්‍රී ලංකාව පියවරක් පිටුපසට එයි

sinhala editor

පන්දු යවන්නන් සිය යුතුකම් කොටස මැනවින් ඉටු කළද පිතිකරුවන් දැක්වූ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11 දා) පැවැති පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 20 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්විඳීමට සිදුවිය. විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවෙමින් පැවැති මෙම තරගයේ ප්‍රතිඵලය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්ව විසඳිණ. ඒ අනුව දෙරට අතර තරගාවලිය ශ්‍රී ලංකාව පියවරක් පසුපසට තබද්දී ඔස්ට්‍රේලියානුවෝ 1-0 ක් ලෙස තරගාවලිය පෙරමුණ ගත්හ.

බිනුර ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ඥානාන්විත පන්දු යැවීම හමුවේ ඔස්ට්‍රේලියානු පිලට නියමිත පන්දුවාර 20 අවසනදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි. කඩුලු 9 ක් දැවී එම ලකුණු සංඛ්‍යාව සත්කාරකයින් ලබා ගත්තද එය හඹා යෑමේදී අවස්ථා දෙකකදී තරගය තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. කාල වේලාව හරස්වීම මත ශ්‍රී ලංකා හඹා යෑමේදී පන්දුවාර සංඛ්‍යාව 19 දක්වා අඩුවූ අතර ඉලක්කය ලකුණු 143 ක් බවට පත්විය.

සිඩ්නි තණතීරුව යනු ලකුණු වලින් සමන්විත තණතීරුවක් වුවත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට කඩුලු අතර සම්බන්ධතා ගොඩ නගාගැනීමට නොහැකිවීම තරග පරාජයට මූලික හේතුවිය. ප්‍රහාරාත්මක වේගය රඳවා ගැනීමට යෑමේදී කඩුලු පිට කඩුලු දැවී යෑම මෙතරම් අඩු ඉලක්කයක් වුවද ලකුණු 20 ක පරතරයකට හේතුවිය.

එම හඹා යෑමේදී ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 21 ක් ඇතුළතදී නරඹන්නන් බවට පත්වද්දී පැතුම් නිස්සංකට එක්වුණු චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ කර්තව්‍යයට උර දුන්හ. එහෙත් 11 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ඇඩම් සම්පා විසින් පැතුම් නිස්සංකවත් චරිත් අසලංකවත් පන්දු 3 කදී දවා ගැනීම නිසා ශ්‍රී ලංකාව යළිත් අසීරුතාවයට ලක්විය. මෙහිදී අසලංක දවා ගැනීම වෙනුවෙන් ස්ටීවන් ස්මිත් හතරේ සීමාව ආසනයේදී රැක ගත්තා වූ අඩ පන්දුව සුපිරි ගණයේලා විය.

කඩුලු දැවී යෑමත්, තරගයට වර්ෂාව හරස්වීමත් නිසා ලකුණු වේගය වැඩි කිරීමට යෑමේදී නායක දසුන් ශානකත් වනිඳු හසරංගත් සිය කඩුලු අහිමි කර ගත්හ. පස්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් තනිව සටනක් දීමට උත්සාහ ගත් නමුත් අනෙක් අන්තයෙන් ලැබිය යුතු සහයෝගය ඔහුට නොලැබිණ. 19 වැනි පන්දුවාරය අවසානයත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 122 කදී නිමාවට පත් වන විට චන්දිමාල් පන්දු 16 කට මුහුණ දී නොදැවී ලකුණු 25 ක් ලබා සිටියේය.

පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු කැපි පෙනුණේය. ආරම්භයේ සිටම නියමිත ඉලක්කයකට පන්දු යැවූ බිනුර සිය පන්දුවාර 4 ලකුණු 12 කට සීමා කළේ කඩුලු 2 ක්ද දවා ගනිමිනි. ඔහුට අමතරව වනිඳු හසරංග කඩුලු 3 ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුවත් ඔහුගේ පන්දුවාරයකට ලකුණු 9.5 ක බැගින් රැස් කර ගැනීමට බෙන් මැක්ඩර්මට් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ සමත්වූහ. 1992 වසරේදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිවුණු හිටපු වේග පන්දු යවන ක්‍රීටක ක්‍රෙක් මැක්ඩමට්ගේ පුතනුවන් වන බෙන් මැක්ඩර්මට්, අද දිනයේදී සිය පළමු අන්තර්ජාතික අර්ධ ශතකය පන්දු 38 කදී සම්පූර්ණ කර ගත්තේය. හතරේ පහර 2 ක් සහ දැවැන්ත හයේ පහර 3 ක් ඊට ඇතුළත් විණ.

නායක ෆින්ච් ඉක්මනින්ම දවා ගැනීමට වනිඳු හසරංග සමත් වද්දී මැක්ඩර්මට් ට එක් වූ කෝඩු කාරයා ජොෂ් ඉංග්ලිෂ් ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව 80 දක්වා ඉහළ දැමූහ. චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ ඉංග්ලිෂ් දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඔස්ට්‍රේලියානු ඉනිමේ පාලනය අතට ගත්හ. ඔහුගේ දැවී යෑමත් සමඟ ලකුණු 27 කදී කඩුලු 4 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාපිල යළිත් තරගයට අවතීර්ණ විය.

මැද පෙළින් වේගයෙන් පන්දුවට පහර දුන් මාකස් ස්ටොයිනිස් පන්දු 17 කදී ලකුණු 30 ක් ලබා ගත්තද දසුන් ශානකගේ වික්‍රමාන්විත උඩ පන්දු රැකීම හමුවේ එම ඉනිම නිමාවට පත්විය. ස්වීපර් කවර් ස්ථානයේ පන්දු රකිමින් සිටි දසුන් වේගයෙන් පැමිණි පන්දුව ගුවනට පැන රැක ගන්නා අවස්ථාවේදී ඔහුගේ මුළු සිරුරම පොළොවට අඩි 4 කට වඩා ඉහළින් සමාන්තරව තිබුණේය.

තරගයේ වීරයා ලෙසින් ලුකණු 12 කට කඩුලු 4 ක් බිඳ හෙළූ ඟද පන්දු යවන ඇඩම් සම්පාව නම් කරනු ලැබීය.

Active filters

Recent Posts

  • තුන්දින ක්‍රිකට් මූලික වටයේ අවසන් සතිය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තයේ තරග දෙසැම්බර් 1 – 3 දක්වා පැවැත් වේ. මූලික වටයේ […]
  • ගුවන් – යුද කාන්තාවෝ අවසන් මහා සටනට එති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් […]
  • සත්‍යා – හංසිමා ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති නාවික හමුදාව සහ ඒස් කැපිටල් අතර තරගයේදී නාවික හමුදාවේ සත්‍යා සංදීපනී (නොදැවී 156) […]
  • කොළඹින් පිට පළාත් 15න් පහළ ක්‍රීඩකයෝ කොළඹ සමඟ කරට කර
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest