slc
logo
Home   |    News
පෙබරවාරි 4, 2022
පිතිකරුවන්ගේ දුර්වලතාවයෙන් දඹුල්ලට පස්වැනි පරාජයත් උරුම වෙයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

නායක ධනංජය ද සිල්වා විසින් රැස් කරන ලද ලකුණු 101 ක වටිනා ඉනිම හේතුවෙන් නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (04 දා) නිමාවට පත් වුණු එක්දින තරගයෙන් ලකුණු 51 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කණ්ඩායම සමත්විය. මෙතෙක් ජයග්‍රහණයක් වාර්තා කිරීමට අසමත්ව සිටින දඹුල්ල කණ්ඩායම පිට පිටම ලද පස්වැනි පරාජය ලෙස මෙය සටහන් වද්දී ජැෆ්නා පිලේ සිව්වැනි ජයග්‍රහණය ලෙසින් සටහන් විය.   

කාසියේ වාසිය අහිමි වුවද දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා පිල ධනංජයගේ සුපිරි ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 266 ක් ලබා ගැනීමට සමත්වූවේය. එය හඹා යෑමේදී දඹුල්ල කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ නියමිත පන්දුවාර 50 දී කඩුලු 9 කටලකුණු 215 ක් පමණි.

ජාත්‍යන්තර තරගවල සතු පරිණතභාවය මැනවින් ප්‍රයෝජනයට ගත් වේග පන්දු යවන නුවන් ප්‍රදීප් දඹුලු පිතිකරුවන් අපහසුතාවයට පත්කළ ජැෆ්නා කඳවුරේ ප්‍රධානම අවිය බවට පත්වූවේය. ආරම්භක පිතිකරු මිනෝද් භානුක (05), දුශාන් හේමන්ත (04) සහ ළහිරු සමරකෝන්ගේ (07) කඩුලු දවා ගත් ප්‍රදීප් තම පන්දුවාර 7 දී ලකුණු 40 කට කඩුලු 3 ක් ලෙසින් පන්දු යැවීම සටහන් කර ගත්තේය.

පෙර තරග වලදී පරිදිම පිතිකරුවන්ට පිටිය තුළ ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට නොහැකිවීම දඹුලු පරාජයට හේතුවිය. පළමු කඩුලු 7 ම ලකුණු 113 ක් ඇතුළත බිඳ වැටී තිබියදී පිටියට එක්වූ සමීර සඳමාල් සහ දුවිඳු තිලකරත්න 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් පවත්වමින් දඹුලු පිල ගෞරවාන්විත හෙවත් ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට ප්‍රධාන දායකත්වය දැක්වූහ. මොවුන් දෙපළට ඉදිරි පෙළ පිතිකරුවන්ගෙන් මීට වඩා සහයෝගයක් ලැබී තිබුණේ නම් බොහෝවිට වාර්තා කරගත නොහැකිව ලතවන පළමු ජයග්‍රහණය අද දිනයේ පහසුවෙන්ම ලබා ගැනීමට අවස්ථාව පැවැතිණ.  

ජයග්‍රහණය සහා ලකුණු 154 ක් අවශ්‍යව පැවැති අවස්ථාවේදී පිටියට එක්වූ සඳමාල් සහ දුවිඳු එම වටිනා සම්බන්ධාතව සඳහා පන්දු 101 ක් වැය කළහ. ඉවසීම ඉහවහා යමින් සීමා ඉරෙන් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී සමීර සඳමාල් අර්ධ ශතකයට ලකුණු 4 ක් තිබියදී ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. ඒ සමඟම එම වටිනා සම්බන්ධතාවද නිමාවට පත්විය. පන්දු 54 කදී ගොඩනැංවුණු සඳමාල්ගේ දැවී යෑමත් සමඟ ජයග්‍රාහී පරතරයෙහි වෙනසකට හේතු වූවේය. ඔහුට අනගි සහායක් ලබා දුන් දුවිඳු තිලකරත්න පන්දු 69 කදී ලකුණු 42 ක් ලබා තරගය නිමාවන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගත්තේය.

පළමු කඩුලු 3ම ලකුණු 17 ක් ඇතුළත බිඳ වැටී තිබියදී ධනංජය ද සිල්වාට එක්වූ සංතුෂ් ගුණතිලක සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩ නංවමින් ජැෆ්නා පිල අසීරුතාවයෙන් මුදවාගත්තේය. මුලු ලකුණු සංඛ්‍යාව 100 ක්ව තිබියදී  සංතුෂ්ව ලකුණු 39 කටත් ඉෂාන් ජයරත්නව ලකුණු 20 කටත් දවා ගනිමින් යළිත් ජැෆ්නා වෙත පීඩනයක් එල්ල කිරීමට දුශාන් හේමන්ත සමත්විය.

එහෙත් 6 වැනි කඩුල්ලට නායකයා සමඟ එක්වූ රවිඳු ප්‍රනාන්දු ඉනිමේ සාර්ථකම සම්බන්ධතාව ගොඩනැංවීමට නායකයාට සහයෝගය දැක්වීය. ඒ හතරේ පහර 4 ක් සමඟ පන්දු 41 කදී ලකුණු 37 ක් ලබා ගනිමිනි. ඉනිමේ වේගවත්ම සම්බන්ධතාවය ලෙසින් සටහන් වුණු ලකුණු 95 ක 8 වැනි කඩුල්ලේ සම්බන්ධතාව සඳහා ඔවුන් වැය කරන ලද්දේ පන්දු 96 ක් පමණි.

මුහුණ දුන් 74 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත් දකුණත් පිතිකරුවා ධනංජය, ඉතිරි ලකුණු 51 ක ලබා ගැනීම සඳහා වැය කරන ලද්දේ පන්දු 46 ක් පමණි. හයේ පහරකින් සහ තවත් හතරේ පහර 10 කින් තම ඉනිම සරසාගත් ජැෆ්නා නායකයා අද ලබා ගත්තේ නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවකු විසින් වාර්තා කරන ලද දෙවැනි ශතකය විය. ඔහුට පෙර කැන්ඩි පිලේ ඕෂද ප්‍රනාන්දු ලකුණු 138 ක් ලබාමින් පළමු ශතකය වාර්තා කරගෙන සිටියි.

47 වැනි පන්දුවාරයේදී ධනංජයගේ ඉනිම අවසන් වුවත් 9 වැනි කඩුල්ලට එක් වුණු ප්‍රමෝද් මදුශාන් සහ දිලුම් සුදීර පන්දු 21 කදී වේගවත් ලකුණු 30 ක් රැස් කරන ලද්දේ එම සම්බන්ධතාවය නොබිඳිව තබා ගනිමිනි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුණු සධීර සමරවික්‍රම (01) සහ ළහිරු තිරිමාන්නව (08) මුලු ලකුණු සංඛ්‍යාව 16 ක්ව තිබියදී දවා ගත් ළහිරු සමරකෝන් ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. ජැෆ්නා ඉනිම හමාර වන විට පන්දුවාර 10 ම ක්‍රියාත්මක කළ ළහිරු සමරකෝන් නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 61 කට කඩුලු 4 ක් වශයෙන් සිය පන්දු යැවීම සටහන් කරගත්තේය.

ඒ සමඟම මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින ගාල්ල කණ්ඩායමේ පා දඟ පන්දු යවන පුලින තරංග සමඟ සම තැන් ගැනීමටද සමරකෝන් සමත්වූවේය. පුලින තරග 4 කදී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 13.81 ක් රඳවා තබා ගනිමින් කඩුලු 11 ක් බිඳ හෙළීමට සමත් වද්දී තරග 3 කට ක්‍රීඩා කර සිටින සමරකෝන් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 16.81 ක් රඳවා ගනිමින් කඩුලු 11 ක් බිඳ හෙළා සිටියි. ඔහුට අමතරව දුෂාන් හේමන්ත ලකුණු 46 කට කඩුලු 2 ක් බිඳ හෙළුවේය.

තරගයේ වීරයා – ධනංජය ද සිල්වා

ලකුණු සාරාංශය

ජැෆ්නා පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 266 යි – (ධනජය ද සිල්වා 101, සංතුෂ් ගුණතිලක 39, ඉෂාන් ජයරත්න 20, රවිඳු ප්‍රනාන්දු 37, ප්‍රමෝද් මදුශාන් 17*, දිලුම් සුදීර 12*, ළහිරු සමරකෝන් 61/4, දුශාන් හේමන්ත 46/2, විශ්ව ප්‍රනාන්දු 43/1)

දඹුල්ල පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 215 යි – (සමීර සඳමාල් 46, දුවිඳු තිලකරත්න 42*, ලසිත් අබේරත්න 35, ගයාන් මනීශාන් 22, ලක්ෂාන් සඳකැන් 11, නුවන් ප්‍රදීප් 40/3, ඉෂාන් ජයරත්න 25/2, දමිත සිල්වා 29/2, සංතුෂ් ගුණතිලක 09/1, නිමන්ද මදුශංක 19/1)

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee