slc
Home   |    News
පෙබරවාරි 17, 2022
ශ්‍රී ලාංකේය ටෙස්ට් වංශ කතාවට අදට වසර 40 ක් සපිරෙයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී අදට යෙදී තිබෙන පෙබරවාරි 17 වැනිදා දිනය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ සදා නොමැකෙන දිනයකි. ටෙස්ට් වරම් දිනාගත් ලොව 8 වැනි රට බවට පත්වූ ශ්‍රී ලංකාවට අද දිනට හරියටම වසර 40 ක් සපිරෙන බැවිනි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය අවස්ථාවක් ලෙසින් සැලකෙන පළමු ටෙස්ට් තරගය පවත්වා ඇත්තේ හරියටම අද වසර 40 කට පෙර හෙවත් 1982 වසරේ පෙබරවාරි 17 වැනිදාය. ක්‍රිකට් උපන් රට ලෙසින් සැලකෙන එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති මෙම සුවිශේෂී තරගය වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල බන්දුල වර්ණපුරයන් විසින් මෙහෙයවන ලද අතර එංගලන්ත කණ්ඩායම කීත් ෆ්ලෙචර් විසින් දරනු ලැබීය. මංගල ටෙස්ට් වරම් හිමිකර දුන් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක පරාජයක් අත්විඳීමට සිදු වුවත් එම තරගය සිව්වැනි දිනය දක්වා රැගෙන යෑමට බන්දුල වර්ණපුරයන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 218 ක් රැස් කරගත්තේය. පන්දුවාර 81 කුත් පන්දු 5 ක් පුරා විහිදුණු ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් රංජන් මඩුගල්ලේ සහ අර්ජුන රණතුංගයන් අර්ධ ශතක වාර්තා කළහ. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 223 කට සීමා කිරීමට අසන්ත ද මෙල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු 5 ක් පසුපසින් සිටි දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකාව විටෙක කඩුලු 3 කට ලකුණු 167 ක් ලෙස ප්‍රබල තත්ත්වයක පසු වුවත් අවසන් කඩුලු 7 ම ලකුණු 8 ක් ඇතුළත බිඳ වැටීම නිසා ශ්‍රී ලංකා පිල අනපේක්ෂිත අසීරුතාවයකට මුහුණ දුන්නේය. පළමු ඉනිමේ කඩුලු දවා ගැනීමට අසමත් වුණු ජෝන් එම්බියුරි දෙවැනි ඉනිමේදී කඩුලු 6 ක් දවාගනිද්දී තනිව සටන් වැදුණු රෝයි ඩයස් ලකුණු 77 ක් රැස් කරගත්තේය. ලකුණු 171 ක ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී කඩුලු 3 ක් පමණක් දැවී සපුරා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ. මෙම තරගයේ විනිසුරුවන් ලෙස හර්බි ෆෙල්සිංගර් සහ කේ.ටී. ෆ්‍රැන්සිස් යන මහත්වරු කටයුතු කළහ.

පළමු තරගය පරාජයට පත් වුවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය දක්වා උසස් කිරීමට තමන් වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එදා පෙන්නුම් කිරීමට සමත්වූහ. කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කළ අසන්ත ද මෙල්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගන්නා ලද පළමු ක්‍රීඩකයා බවට පත්වද්දී අවසන් වරට ටෙස්ට් වරම් දිනාගත් චරිත් අසලංක දක්වා ක්‍රීඩකයින් 157 දෙනෙකු දශක 4 ක ටෙස්ට් ඉතිහාසයේදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

අද වැනි දිනෙක පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව මේ දක්වා ටෙස්ට් තර 299 කට ක්‍රීඩා කර තිබේ. ඉන්දියාවට එරෙහිව ලබන මාර්තු 04 වැනිදා මොහාලිහි ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවේ 300 වැනි ටෙස්ට් තරගය වනු ඇත. මෙතෙක් සහභාගිව ඇති ටෙස්ට් තරගවලදී අවස්ථා 95 කදී ජයග්‍රහණ අත්කරගෙන සිටින ශ්‍රී ලංකාව අවස්ථා 113 කදී පරාජයට පත්ව තිබේ. තරග 91 ක් විඳුමකින් තොරව අවසන්ව තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත්ව සිටින්නේ කුමාර් සංගක්කාර වන අතර ඔහු තරග 134 කදී මුලු ලකුණු 12400 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 57.40 ක රඳවා ගනිමිනි. වැඩිම කඩුලු ලොව වැඩිම ජාත්‍යන්තර තරගවල කඩුලු ලාභියා බවට පත්ව සිටින මුත්තයියා මුරලිදරන් පසුවන අතර ඔහු තරග 133 කදී කඩුලු 800 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
USD United States (US) dollar

Pin It on Pinterest