By Chamila Karawita
තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගයේ පළමු දින 2 අහවර වන විට තරගයේ උපරිම වාසි තමන් වෙත හරවා ගැනීමට සමත්ව සිටින ඉන්දියානුවෝ ජය පැරදුමෙන් තොර තරගයක් සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම වාසියක්ම අහුරා දමමින් ක්‍රීඩා කළහ. ඊට හොඳම නිදසුන වූයේ තේ පානයට මිනිත්තු කීපයකට පෙර ඉනිම හමාර කිරීමයි. සමස්ථ පළමු ඉනිම පුරා පන්දුවාරයකට ලකුණු 4 කට ඉහළ වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දුන් ඉන්දියානුවෝ එම තීරණයේ යටි අරමුණ වූයේ ඊට පසු ඉනිම හමාර කළේ නම් පිතිකරණ ඇඟලුම් ලා ගැනීම සඳහා තවත් අතිරේක මිනිත්තු 10 ක කාලයක් ගත වන බැවින් එයද තරගයේ ක්‍රීඩා කළ හැකි කාලයට ඉතිරි කර ගැනීමය. මිනිත්තු 10 ක තරම් කාලය පිළිබඳව මෙතරම් අවධානයක් දැක්වීමෙන් පෙනී යන ප්‍රධානම කරුණ වන්නේ ඉන්දියානුවෝ ඒ තරමටම මෙම තරගයේදී ජයග්‍රහණය පිළිබඳව සැලසුම් කර ඇති සේයාවයි.
කඩුලු 6 කට ලකුණු 357 ක් ලබා සිටියදී දෙවැනි දින ඇරැඹූ ඉන්දීය පිතිකරුවෝ අද දිනයේදීත් පන්දුවාරයකට ලකුණු 4 කට වඩා දල වේගයක් රඳවා ගැනීමට සමත්වූහ. මේ සියල්ලේම යටි අරමුණ වී ඇත්තේ ඉහතින් සඳහන් කළ ආකාරයට ජය පැරදුමෙන් තොරවූ තරගයකට ශ්‍රී ලංකාව තබා තිබෙන බලාපොරොත්තු සියල්ල බිඳ දැමීම වේ.
රවීන්ද්‍ර ජඩේජාගේ නොබිඳුණු ලකුණු 175 ක ඉනිම මත ඉන්දීය කණ්ඩායම කඩු 8 ක් දැවී ගොඩ නඟන ලද ලකුණු 574 ට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනට (05 දා) තරගය නිමා කරන විට ලකුණු 108 කට කඩුලු 4 ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.
සත්කාරක ඉන්දියානු පිල ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනකුගෙන් අවතීර්ණ වීම වඩාත් සාධාරණීයකරණය කළ රවීන්ද්‍ර ජෙඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් දැවී ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් සිව්දෙනාගෙන් තිදෙනකුට හිමිකම් කීහ. මෙහිදී වැඩි ඵල නෙලාගත් රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2 ක් දවා ගෙන සිටියේය. පන්දු යැවීමේදී හැකි තරම් ශ්‍රී ලංකාවට පීඩනය යොමු කළ ඉන්දියානුවෝ මෙතෙක් ක්‍රීඩා කරන ලද පන්දුවාර 43 න් 15 ක්ම නිලකුණු පන්දුවාර ලෙසින් සටහන් කරගත්හ. මෙය ශ්‍රී ලංකා පන්දු යැවීමට ගැලපීමේදී පන්දුවාර 129 කදීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් සටහන් කරගැනීමට සමත්ව සිටියේ නිලකුණු පන්දුවාර 7 ක් පමණි.
ඉන්දියාවට එරෙහිව නොසැලී සිටීමට සමත් පිතිකරුවා වූයේ අංක 3 ස්ථානයෙන් පැමිණි පැතුම් නිස්සංක පමණි. දිනය අහවර කරන විට සිය ඉනිම නොසැලී තබාගත්තේ ලකුණු 26 ක් ලබා ගනිමිනි. සටන්කාමී පිතිහරඹයක නිරතවුණු දකුණත් පිතිකරුවාට වාසනාවද නොලැබුණා නොවේ. මුලු ලකුණු සංඛ්‍යාව 80 ක්ව තිබියදී බුම්රාගේ පන්දුවක් කඩුල්ල සොයා ගියත් එය නිපන්දුවක් වීමේ වාසියෙන් තවදුරටත් පිටියේ රැඳී සිටීමට පැතුම්ට අවස්ථාව උධාවිය.
දැවී ගිය පිතිකරුවන් සිව් දෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑමද කැපී පෙණින. පළමු කඩුල්ල ලෙසින් ළහිරු තිරිමාන්න අශ්වින්ගේ ගොදුරක් බවට පත්වද්දී ශ්‍රී ලංකා ඉනිමේ වටිනාම පිතිකරුවා වුණු නායක දිමුත් කරුණාරත්නගේ කඩුල්ල රවීන්ද්‍ර ජඩේජා විසින් දවා ගත්තේය. දිනය හමාරවීමට පන්දුවාර 10 ක් ඉතිරිව තිබියදී ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැවැන්ත අභියෝගයක් එල්ල කළ රවීන්ද්‍ර ජඩේජා ලබාගත් ලකුණු 175 පන්දු 228 කදී රැස් කළේය. අංක 7 පිතිකරණ ස්ථානයෙන් පැමිණි වමත් පිතිකරුවා ඉන්දීය ඉනිම හමාර කරන විටත් එම ස්ථානයෙන් පැමිණ වැඩිම ලකුණු රැස් කරන ලද ඉන්දීය පිතිකරුවා බවටද පත්වීමට සමත්වූයේ ඊට හයේ පහර 3 ක් සහ හතරේ පහර 17 ක්ද ඇතුළත් කරගමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් අශ්වින් පන්දු 82 කදී ලකුණු 61 ක් රැස් කළේය. මොවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු සංඛ්‍යාව 130 ක් විය. මෙයද දෙරට අතර ඉතිහාසයේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් රැස්වුණු ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය.

