slc
Home   |    News
මාර්තු 4, 2022
දිවා භෝජනයට පෙර ශ්‍රී ලංකාව කඩුලු 2 ක් ඩැහැ ගනියි

sinhala editor

ශ්‍රී ලංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 300 වැනි ටෙස්ට් තරගය ලෙසින් ඉන්දියාවේ මොහාලිහිදී අද (04 දා) ආරම්භ වුණු ටෙස්ට් තරගයේදී දිවා භෝජනය වන විට සත්කාරක ඉන්දීය පිලේ කඩුලු 2 ක් දවා ගනිමින් තරගයට සාර්ථකව ප්‍රවේශ වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියි. කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වුවද කණස්සල්ලකට හේතුවක් ඇත්නම් ඒ පිතිකරුවන්ට පාරාදීසයක් බඳු මොහාලි තණතීරුවේදී  ඉන්දීය පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස්කිරීමට සමත්ව සිටීමය.

දිවා විවේකය වන විට යවන ලද පන්දුවාර 26 දී පන්දුවාරයකට ලකුණු 4.19 ක වේගයක් වන සේ ලකුණු  109 ක් රැස් කරගැනීමට ඉන්දීය පිතිකරුවෝ සමත්වූහ. අද තරගය තම 100 වැනි ටෙස්ට් තරගය බවට පත් කර ගත් විරාට් කෝලි පන්දු 22 කදී ලකුණු 15 ක් සහ හනුමා විහාරි පන්දු 49 කදී ලකුණු 30 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර සඳහන් කර පරිදිම අද තරගයට වේග පන්දු යවන්නන් තිදෙනා වන සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර සමඟ අවතීර්ණ වද්දී අනෙක් ප්‍රධාන පන්දු යවන්නා ලෙස ලසිත් ඇඹුල්දෙණිය අවසන් 11 දෙනා අතරට එක්ව සිටිති. ඒ අතරින් දිනයේ පළමු කඩුලු ලාභියා වූයේ ළහිරු කුමාරය.

පුල් පහර එල්ල කිරීමේදී වැඩි රුචියක් දක්වන ඉන්දීය නායකයා ආරම්භයේදී වේගයෙන් ලකුණු රැස් කළේය. ළහිරු කුමාර ක්‍රියාත්මක කරන ලද 10 වැනි පන්දුවාරයේ පුල් පහර වලින් පිට පිට හතරේ පහර දෙකක් එල්ල කළ ෂර්මා එම පහර එල්ල කිරීමට ගොසින්ම දැවී ගියේ ශ්‍රී ලංකාව ඇටවූ උගුලට හසුවෙමිනි. හතරේ පහර එල්ල කළද තම පන්දු යැවීමේ රේඛාව එසේම තබා ගත් ළහිරු කුමාර පෙර පන්දුවලට වඩා තරමක් ග්‍රහණය වැඩි කරමින් ඇඟ තුළටම පන්දුව යොමු කළේය. පහර එල්ල කිරීමේදී වූ කාල ගණනයේ සිදුවූ අතපසුවීම හේතුවෙන් එහි ප්‍රතිඵලය වූයේ ලෝන් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි සුරංග ලක්මාල් අත වෙත එය උඩ පන්දුවක් ලෙසින් ඇදී යෑමයි.

මුලු ලකුණු සංඛ්‍යාව 52 ක් ව තිබියදී නායකයාගේ කඩුල්ල ඉන්දීය පිලට අහිමි වුවත් මායන්ක් අග්‍රවාල්ට එක්වූ හනුමා විහාරි ලකුණු රැස් කිරීමේ කාර්යයේ නිරත විය. කඩුල්ලක් දැවී යෑම නිසා එතෙක් පවත්වාගෙන ආ වේගයද පාලනය කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වද්දී  නැවතත් ක්‍රියාත්මක වුණු ලසිත් ඇඹුල්දෙණිය මයාන්ක් අග්‍රවාල්ගේ කඩුල්ල දවා ගනිමින් ඉන්දීය ඉනිම පීඩනයක් ලක් කළේය. කඩුල්ල තුළ ආ පන්දුව පිත්තේ වැදීමට පෙර පා ආවාරණයේ වැදීමෙන් අග්‍රවාල් කඩුල්ල මුවා කළ පිතිකරුවකු ලෙස දැවී ගියේය. දැවී යෑමෙන් අනතුරුව ඒ පිළිබඳව හනුමා විහාරි සමඟ විමසීමක් කළද ප්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් නොකරම අග්‍රවාල් පිටියෙන් ඉවත්වූවේය.

අනතුරුව පිටියට පිවිසියේ අද තරගයේ සුවිශේෂීම චරිතය වූ හිටපු නායක විරාට් කෝලිය. 33 වැනි වියේ පසුවන විරාට් කෝලිගේ 100 වැනි තරගය නැරඹීම සඳහාම ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් 50% ක් වූ ක්‍රීඩා ලෝලීන්ට තරගය විවෘත විණ. එම ඔල්වරසන් මධ්‍යයේ පන්දුවට පහර දීමට පැමිණි කෝලි ලසිත් ඇඹුල්දෙණිය විසින් එවන ලද පළමු පන්දුවට ආරක්ෂිතව මුහුණ දුන්නේය. වැඩි කලබලයක් නොපෙන්වා දකුණත් පිතිකරුවා මුහුණ දුන් 6 වැනි පන්දුවේදී මනරම් ඩ්‍රයිව් පහරකින් පළමු හතරේ පහර සිය ඉනිමට ඇතුළත් කරගත්තේය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest