slc
logo
Home   |    News
මාර්තු 14, 2022
දෙවැනි ටෙස්ට් තරගයත් ඉන්දියානුවෝ ජය ගනිති

sinhala editor

By Chamila Karawita

චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය හෙවත් දිවා/රාත්‍රී තරගයත් පළමු තරගය පරිදිම දින 3 ක් නිමාවීමට මත්තෙන් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සත්කාරක ඉන්දීය ක්‍රීඩකයෝ අද (14 දා) සමත්වූහ. ලකුණු 238 ක ජයක් ලෙසින් සටහන් වුණු එම පරාජයත් සමඟ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙසද සත්කාරකයෝ ජය ගත්හ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක වන මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට පෙර තෙවැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මෙම තරගාවලි පරාජයත් සමග පස්වැනි ස්ථානය දක්වා පහළ බැසීමට සිදුවිය.

කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටියදී තෙවැනි දින ඇරඹූ ශ්‍රී ලංකාවට අද තේ පානය තෙක් හෝ සිය ඉනිම ආරක්ෂා කර ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ ප්‍රස්ථාව ලබා නොදුන්හ. පන්දුවට පහර දීමට වඩාත් අසීරු වුණු චින්නස්වාමි තණතීරුවේදී ශ්‍රී ලංකාව කරකවා අත හැරි රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4 ක් දවා ගනිද්දී වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 ක් සහ අක්සාර් පටෙල් කඩුලු 2 ක් සහ රවීන්ද්‍ර ජඩේජා එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස් කර ගැනීමට අවකාශ හිමිවූයේ ලකුණු 180 ක් පමණි. ඒ වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රියාත්මක කළ දිමුත් කරුණාරත්න පන්දුවට පහර දීමට වඩාත් අසීරු තණතීරුවේදී සිය 14 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. මෙය දෙවැනි ඉනිමකදී දිමුත් වාර්තා කරන ලද 10 වැනි ශතකය ලෙසින් සටහන් විය. මීට පෙර ඉන්දියාවට එරෙහිව කරුණාරත්නගේ වැඩිම ලකුණු ලෙස සටහන් වූයේ ලකුණු 51 ක් වූ අතර මෙය ඔවුන්ට එරෙහිව වාර්තා කරන ලද පළමු ශතකයලෙසින් සටහන් විය.ඒ සමඟම ටෙස්ට් ඉනිමක ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය ලකුණු 40 සීමාව ආසන්නයටම (39.57) පැමිණීමට දිමුත් අද දිනයේදී සමත්වූවේය.

දිමුත් රැස් කරන ලද ශතක සංඛ්‍යාව ශ්‍රී ලාංකේය ටෙස්ට් ඉතිහාසයට සසඳන කල එය සනත් ජයසූරිය සහ තිලාන් සමරවීරව සම කරවන්නක් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ශතක ලාභීන් අතර දිමුත්ට ඉදිරියෙන් පසුවන්නේ පස් දෙනෙකු වන අතර, කුමාර් සංගක්කාර (38), මහේල ජයවයර්ධන (34), අරවින් ද ද සිල්වා (20), ටී. එම්. ඩිල්ෂාන් සහ මාවන් අතපත්තු ශතක 16 බැගින් වාර්තා කරමින් දිමුත්ට ඉදිරියෙන් පසුවෙති.

දිමුත් කරුණාරත්නට එක්වූ කුසල් මෙන්ඩිස් (54) ධනාත්මකව දිනය ආරම්භ කළ නමුත් ඉවසීම ප්‍රගුණ නොකිරීම නිසා අවාසනාවන්ත ලෙස මෙන්ඩිස් ඉවත්විය. ස්වීප්, රිවර් ස්වීප් මෙන්ම පැඩ්ල් ස්වීප් පහර වැඩි ලෙසින් එල්ල කළ මෙන්ඩිස් දිමුත්ට කළින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේ පිටිය තුළ වඩාත් විශ්වාසයක් ගොඩ නඟා ගනිමිනි.

තණතීරුවෙන් පිතිකරණයට කිසිදු වාසියක් නොවූයෙන් තරමක් වේගයෙන් පන්දුවට පහර දුන් දකුණත් පිතිකරුවා මුහුණ දුන් 57 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය සපුරා ගත්තේය. හතරේ පහර 7 ක්ද ඇතුළත් වුණු මෙම අර්ධ ශතකය මෙන්ඩිස්ගේ ටෙස්ට් තරග දිවියේ 12 වැන්න ලෙසින් සටහන් විය. මොවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්වුණු ලකුණු සංඛ්‍යාව 97 කි. සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට යෑමේදී අවසානවන්ත ලෙස ස්ටම්ප් කිරීමකට හසුව මෙන්ඩිස් දැවී නොයන්නට මීට වඩා තරගයක් ඉන්දියානු පිලට ලබාදීමට ශ්‍රී ලංකාවට හොඳින්ම අවකාශ තිබිණ.

උප නායක ධනංජය ද සිල්වාගේ කඩුල්ල දවාගැනීමට අශ්වින් සමත්වීමත් සමඟ ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔහුට හැකියාව ලැබිණ. මේ වන විට අශ්වින් කඩුලු 442 ක් බිඳ හෙළමින් කඩුලු 439 ක් බිඳ හෙළමින් 8 වැනි ස්ථානයේ රැඳී සිටි දකුණු අප්‍රිකානු පිලේ වේග පන්දු යවන ඩේල් ස්ටේන්ව 9 වැනි තැනට තල්ලු කර දැම්මේය. පන්දු 174 කදී වාර්තා වුණු දිමුත්ගේ ලකුණු 107 ක ඉනිම ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා නිමාවට පත්විය. හතරේ පහර 15 කින් සමන්විත වුණු දිමුත් පිටියෙන් ඉවතට ගියේ ශ්‍රී ලංකාවේ දැවී ගිය 7 වැනි පිතිකරුවා ලෙසිනි.  දිමුත්ගේ දැවී යෑමත් සමඟ ලකුණු 4 ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 4 ම බිඳ වැටිණ.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest