slc
Home   |    News
මාර්තු 3, 2022
300 වැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ඉතිහාසය වෙනස් කිරීමට සැරසෙයි

sinhala editor

By Chamila Karawita

ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් වංශ කථාව  1982 වසර දක්වා ඈතට විහිද යයි. දෙරට අතර ඉතිහාසය ශ්‍රී ලංකාවට සුවිශේෂී වනුයේ මෙරට පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය ඉන්දියාවට එරෙහිව සනිටුහන් වී තිබෙන නිසාය. ඒ 1985 වසරේදී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි තරග සංචාරයේදීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව අවස්ථා කීපයකදී ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට සමත් වුවත්, 1982 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කරන ලද සංචාරයේ සිට මේ දක්වා ගෙවී ගිය වසර 39 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමක් කිසිම දිනෙක ඉන්දියාවේදී ටෙස්ට් තරග ජයක් ලබා ගැනීමට අපොහොසත්වීම කැපී පෙනෙයි. එපමණක් නොව ගෙවී ගිය වසර 7 ඇතුළත දේශීයව හෝ ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගෙන නොමැත.

දෙරට අතර ටෙස්ට් වාර්තා එසේ පවතිද්දී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මාර්තු 04 වැනිදා (හෙට) මොහාලිහිදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී ඉතිහාසය වෙනස් කිරීමේ අභිලාෂයෙන් තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියි.

“මේ තරගාවලියෙදි මම දැක්ක දෙයක් තමයි වෙනද ඉන්දියාවට එනවාට වඩා ලොකු විශ්වාසයක්  ක්‍රීඩකයින්ගෙන් දකිනවා. ඒකට හේතුව විදියට දකින්නේ අන්තිම අවුරුද්දේ අපි ඉතාම හොඳට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරලා හොඳ දක්ෂතා අතර ඉන්න එක. ‍ජ්‍යෙෂ්ඨ – නවක දෙගොල්ලොම ඔවුන්ගේ වගකීම් ඉතාම හොඳට කළා. ඒ හැඟීමත් එක්ක මට හිතනෙවා යම් කිසි වෙනසක් මේ තරගාවලියෙදි කරන්න පුලුවන් කියලා” යැයි හෙට තරගය පිළිබඳව දිමුත් කරුණාරත්න අදහස් දක්වා සිටියේය.

නායක්තවයට පත්ව සහභාගිවුණු පළමු තරගාවලියේදීම දකුණු අප්‍රිකානු පිල ඔවුන්ගේ නිජබිමේදීම 2-0 ක් ලෙස පරාජයට පත් කළ අයුරු එහිදී සිහිපත් කළ සිටි ශ්‍රී ලංකා නායකයා, ‘ඇත්තටම දකුණු අප්‍රිකාවේදී අපිට නැති වෙන්න දෙයක්තිබුණේ නෑ. ඒ නිසා අපි අපේ උපරිමය දුන්නා. හෙට තරගයේදීත් අපිට තියෙන පීඩනය අඩුයි. ඉන්දියාවට තමයි මේ තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ඕන කියන පීඩනය තියෙන්නේ. අන්න ඒක අපේ වාසියක අරගෙන සැලසුම් සකස් කරන්න ඕන කොහොමද අපි මේ තරගය ජයග්‍රහණය කරන්නේ කියලා” යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව හෙට තරගයට පිවිසෙන්නේ ඉන්දියාව හමුවේ පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය පූර්ණ තරගාවලි පරාජයකට පත්වීමෙන් පසුව වුවත් එම සංචිතයට ඇතුළත් නොවුණු ක්‍රීඩකයින් රැසක් ටෙස්ට් තරගාවලිය සඳහා පැමිණ සිටීම නිසා එම පරාජය හෙට තරගයට බලපෑමක් සිදුනොකරනු ඇත.

හෙට ආරම්භ වන තරගය වසර 40 ක ශ්‍රී ලාංකේය ටෙස්ට් වංශ කථාවට මෙන්ම ඉන්දියාවටද සුවිශේෂී සැමරුම් තරගයකි. ඒ හිටපු ඉන්දීය නායක විරාත් කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගය බවට ශ්‍රී ලංකාවේ 300 වැනි ටෙස්ට් තරගය පත්ව තිබීමයි. 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා සහභාගි වූ පළමු ටෙස්ට් තරගයෙන් පසු මේ වන විට ටෙස්ට් තරග 299 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 95 ක් ජයග්‍රහණය කර තිබෙන අතර තරග 113 ක් පරාජයට පත්ව තිබේ. නොවිසඳුණු තරග සංඛ්‍යාව 91 කි.

“තරග ජය ගන්න එක තමයි අපේ ප්‍රධානම බලාපොරොත්තුව” යැයි 300 වැනි ටෙස්ට් තරගය පිළිබඳව සිදුකරන ලද විමසීමේදී දිමුත් සඳහන් කර සිටියේය. “ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරලා තරගයක් දිනනවා කියන්නේ සෙල්ලම් දෙයක් නොවෙයි. නමුත් අපි ඒ ගැන ඉලක්ක කරලා ගොඩක් පුහුණුවීම් කරලා තියෙනවා. සැලසුමක් තියෙනවා” යනුවෙන් දිමුත් වැඩිදුරටත් හෙට තරගය ජය ගැනීම පිළිබඳ වූ විශ්වාසය ගෙන හැර පෑවේය.

ටෙස්ට් රටවල් වර්ගීකරණයේ අංක 1 ස්ථානයට පැමිණීම සඳහා මාන බලමින් සිටින රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම, හෙට දිනයේ මුණ ගැසෙන්නේ අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම වේ. තමන් සතු ප්‍රධානම පිතිකරුවනු යුගලයක් වන චෙටේෂ්වර් පුජාරා හෝ අජින්ක්‍යා රහනේ නොමැතිව හෙට තරගයට ක්‍රීඩා කිරීමේදී වැඩි වගකීමක් නායක ෂර්මා සහ කෝලි සතු වනු ඇත.

හෙට තරගය පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා ගැනීමට නම් පළමු ඉනිමේදී වැඩි කාර්යය භාරයක් පිතිකරුවන් ඉටු කළ යුතු වීම අනිවාර්යය බවද ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකාව අවසන් වරට ඉන්දියාව මුණ ගැසී අවස්ථා 6 දී සිව් වතාවක් පරාජයට පත්ව තිබෙන අතර ඒ සෑම පරාජයකටම පළමු ඉනිමේ දුර්වලතාවය හේතුවී තිබේ. ජය පැරදුමෙන් තොරව අවසන් වුණු තරග 2 දී ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඉතා හොඳින් ක්‍රීඩා කළ ඇති බැවින් එහි පරස්පරතාවය ඉතා හොඳින් පෙන්නුම් කෙරෙනු ඇත.  

“ටෙස්ට් මැච් එකක පළවැනි ඉනිම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මෙහේ තණතීරු එන්න එන්නම පන්දු යවන්නන්ගේ යෝග්‍ය පැත්තට තමයි හැරෙන්නේ. තණතීරුව හොඳට තියෙනකොට පිතිකරුවන් දැන ගන්න ඕන වගකීම අරගෙන ලොකු ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවට දාලා පන්දු යවන්නන්ට අවස්ථාවක් ලබා දෙන්න. අපි මෙහේ ඇවිල්ලත් ගොඩක් වෙලා ට්‍රේන් කළා. එකම දේ අපි එතනට ගිහිල්ලා හරියට කරන එක තමයි වැදගත් වෙන්නේ. මට විශ්වාසයක් තියෙනවා මගේ කණ්ඩායමත් එක්ක අපිට ගොඩක් ලොකු දෙයක් කරන්න පුලුවන් කියලා. බැටිං ලයින් අප් එක ගත්තොත් ගොඩක් අත්දැකීම් තියෙන බැටිං ලයින්අප් එකක් අපිට තියෙනවා. පසුගිය කාලේ වෙච්ච අතපසුවීම් මඟ හරවාගෙන මේ තරගාවලිය හොඳින් ක්‍රීඩා කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා” යැයි දිමුත් සඳහන් කරයි.

හෙට තරගයේදී කඩුලු රැකීමේ කාර්යය නිරෝෂන් දික්වැල්ල විසින් සිදුකරන බැවින් කුසල් මෙන්ඩිස්ට සහ දිනේෂ් චන්දිමාල්ට අවසන් 11 දෙනා අතරට පැමිණීමේ අවස්ථාව අහිමිවේ. ඉනිම ආරම්භය දිමුත් කරුණාරත්න සමඟ ළහිරු තිරිමාන්න විසින් සිදුකරන බැවින් කොදෙව් පිලට එරෙහි තරගාවලියේ ඉනිම ඇරැඹි පැතුම් නිස්සංකට අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිතය. පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් බැවින් ශ්‍රී ලංකා පිල හෙට දිනයේදී ප්‍රධාන පිතිකරුවන් හත් දෙනෙකුගෙන් යුතුව අවතීර්ණවද්දී ධනංජය ද සිල්වාට පස්වැනි පන්දු යවන්නා ලෙසින් කටයුතු කිරීමට සිදුවේ. මොහාලි තණතීරුව වේග පන්දු යවන්නන්ට දක්වනු ලබන සහයෝගය හේතුවෙන් ශ්‍රී ලංකා පිල හෙට දිනයේදී වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණ වද්දී එකම ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස ලසිත් ඇඹුල්දෙණිය හෝ ප්‍රවීන් ජයවික්‍රම ක්‍රීඩා කරනු ඇත.

“පැතුම් ඕපන් කළේ තිරිමාන්න නැති නිසා. අන්තිම කාලේ තිරී (තිරිමාන්න) එතන හොඳට සෙල්ම් කළා.හෙට තිරී මාත් එක්ක ඕපන් කරනවා. පැතුම් අංක 3 සෙල්ලම් කරන්නේ” යැයි සඳහන් කර සිටින දිමුත් අවශ්‍ය වුවහොත් උපක්‍රමශීලීව එය දෙවැනි ඉනිමේදී වෙනසකට භාජනය වීමට ඉඩ තිබෙන බවද සඳහන් කර සිටියේය. “දෙවැනි ඉනිමේදී අපිට උපක්‍රමශීලී වෙනසක් ගන්න වෙයි. මොකද එයාලගේ (රවිචන්ද්‍රන්) අශ්වින් ක්‍රීඩා කරන හින්දා විකට් එක දඟ කැවුණොත් දෙවැනි ඉනිම ඔහුගෙන් පටන් ගන්න පුලුවන්. සමහර වෙලාවට පැතුම් ආරම්භ කරන්නත් පුලුවන්. ඒක අපි තරගයේ යන විදිහ බලලා ඒ ගැන තීරණය කරනවා” යනුවෙනි දිමුත් සඳහන් කර සිටියි.

සිය අවසන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරනු ලබන සුරංග ලක්මාල් සමඟින් දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරුණත් දිගින් දිගටම විස්සයි-20 තරගවල නියැළීම නිසා චමීරව හෙට තරගයේදී විවේක ගන්වනු ඇති බව ශ්‍රී ලංකා නායකයා අවධාරණය කර සිටියේය. ඒ අනුව ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු ලක්මාල්ගේ ප්‍රධානත්වයෙන් යුතු වේග පන්දු බලඇණියේ සෙසු පුරුක් වෙති.

“සුරංගගේ අන්තිම සීරිස් එක. මම දන්නවා ඔහු කණ්ඩායමට අහිමි වෙන එක කොච්චර පාඩුවක්ද කියලා. ඒත් මම පෞද්ගලිකවම ගොඩක් සංතෝෂ වෙනවා සුරංගට ලැබිලා තියෙන අවස්ථාව ගැන. ප්‍රාන්ත තරගාවලියකට ක්‍රීඩා කරනවා කියන්නේ ක්‍රීඩකයෙකුට පහසුවෙන් ලැබෙන දෙයක් නොවෙයි. ඔහුට වසර 2 ක් සඳහා ඒ ආරාධනයා තියෙනවා. අපි බැලුවොත් ඉතුරු තරග ඔක්කොම වගේ ක්‍රීඩා කරන්නේ ලංකාවේ. ඒ නිසා සුරංගට පන්දු යවන්නකු ලෙස තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. අපි බලාපොරොත්තු වෙනවා ඔහුගේ නික්ම යෑම සටහන් වන මේ තරගාවලිය හොඳන් නිමා කරලා සුරංගට හොඳ නික්ම යෑමක් ලබා දෙන්න” යැයි කරුණාරත්න අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාව – 1. දිමුත් කරුණාරත්න(නායක), 2. ළහිරු තිරිමාන්න, 3. පැතුම් නිස්සංක, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. චරිත් අසලංක, 6. නිරෝෂන් දික්වැල්ල, 7. ධනංජය ද සිල්වා, 8. ලසිත් ඇඹුල්දෙණිය, 9. සුරංග ලක්මාල්, 10. විශ්ව ප්‍රනාන්දු, 11. ළහිරු කුමාර. (කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සි, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර)

ඉන්දියාව – 1. රෝහිත් ෂර්මා (නායක), 2. මායන්ක් අග්‍රවාල්, 3. ශුබමන් ගිල්, 4. විරාට් කෝලි, 5. හනුමා විහාරි, 6. රිෂාබ් පාන්ට්, 7. රවීන්ද්‍ර ජඩේජා, 8. රවිචන්ද්‍රන් අශ්වින්, 9. මොහොමඩ් ශාම්, 10. ජස්ප්‍රිට් බුම්රා, 11. මොහොමඩ් ශිරාජ් (ශ්‍රීකාර් භරත්, ශ්‍රෙයාස් අයියර්, කුල්දීප් යාදව්, ප්‍රියන්ක් පන්චල්, සෞරාබ් කුමාර්, උමේෂ් යාදව්, ජයන්ට් යාදව්)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest