slc
Home   |    News
මැයි 4, 2022
ඉදිරියට යෑමට නම් ධනාත්මක සහ නිර්භීතව ක්‍රීඩා කළ යුතුයි – ‘සිල්වර්වුඩ්’

sinhala editor

By Chamila Karawita

මිකී ආතර්ගෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පළමු වගකීම මේ මස මැදදී බංග්ලාදේශට එරෙහි තරග සංචාරයෙන් ඇරඹේ. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි සති අන්තයේ බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් වැඩ භාර ගැනීමෙන් අද (04 දා) දිනට සති දෙකක කාලයක් ඉක්මවා ඇත. පූර්ණ කණ්ඩායම සමඟින් නොවුණත් ටෙස්ට් සංචිතයට අයත් ක්‍රීඩකයින් සමඟ සිල්වර්වුඩ් ගෙවුණු සති දෙකක කාල සීමාවේදී පුහුණුවීම් සිදුකළහ.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු පළමු වතාවට සිල්වර්වුඩ් මාධ්‍ය හමුවේ නිරාවරණය වූයේද අද දිනයේදීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තුළ විශ්වාසය සහ විනය ඇති කිරීම සිය ධුර කාලයේ මූළිකම අරමුණ බවට පත්ව තිබෙන බවයි. ඉදිරි කාල සමයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරි ස්ථානයන් දක්වා රැගෙන යෑමද සිය බලාපොරොත්තුව බව සිල්වර්වුඩ් අද දිනයේදී අවධාරණය කර සිටියේය.

“මම සති දෙකක කාලයක් මෙහි කටයුතු කළත් වැඩි කාලයක් ගත කළේ සංඛ්‍යා දත්ත පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින්. විශේෂයෙන්ම ඒවා හරහා දියුණුවිය හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කරමින්. ඒ අතරින් එක් දෙයක් තමයි ලකුණු ලබා ගැනීම සඳහා තියෙන උනන්දුවය. ඒ තැනට යන්න අපි පිතිකරුවන්ට විශ්වාසයක් ලබා දිය යුතුයි. විශේෂයෙන්ම දැවී යෑමට බිය නොවී ලකුණු ලබා ගැනීමේ චේතනාව ඉදිරියට ගෙන. මම ඒකෙන් කියන්නේ නෑ අපි නොසැලකිළිමත් විදියට ක්‍රීඩා කළ යුතුයි කියලා. මගේ අදහස වෙන්නේ අපි බුද්ධිමත්ව ඒ දේ වෙත යා යුතුයි” යැයි මෙතෙක් දින තමන් නිරතව සිටි කාර්යය පිළිබඳව අදහස් දක්වා සිටියේය.

වසර 2 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු භුමිකාව භාරගෙන සිටින ක්‍රිස් සිල්වර්වුඩ්ට අමතරව කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වන නවීඩ් නවාස් මෙන්ම කළමනාකාරීත්වයට අලුතින් පත් මහින්ද හලංගොඩ යන මහත්වරුද සහභාගිව සිටියහ.

තම කළමනාකරුවා සහ සහාය පුහුණුකරුවා දෙපසින් අසුන්ගෙන සිටින පසුබිමෙක සිය අදහස් දැක්වීම සිදුකළ ප්‍රධාන පුහුණුකරුවා, “මම ක්‍රීඩකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ධනාත්මකව සහ නිර්භීතව ක්‍රීඩා කිරීමයි. ඒ ආකල්පයෙන් අපි තරගයට ගියොත් අපිට අවශ්‍ය විදියට ක්‍රීඩා කරන්න පුලුවන්. විශේෂයෙන්ම නිලකුණු පන්දු සංඛ්‍යාවන් අඩු වෙලා ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි වෙන එක වගේ හොඳ දෙයක් වෙන්න පුලුවන්. අනවශ්‍ය ආකාරයෙන් වූ පුලුල් පරාසයකට ගොස් සිය පුහුණුවීම් සිදුකිරීමට වඩා තත්ත්වයන්ට අනුකූල වන ලෙස පුහුණුවීම ඉතා යෝග්‍ය බව මම නිතරම ක්‍රීඩකයින්ට පෙන්වා දෙන්න උත්සාහ කරනවා. එහෙම වුවොත් ඔබ පුහුණුවීම් වලට පැමිණීයාට වඩා හොඳින් ඔබ පුහුණු දැලෙන් එළියට යෑමට හැකියාවක් තියෙනවා” යනුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම භාර ගැනීමට පෙර එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ සිල්වර්වුඩ් මහතා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති අලු බඳුන ක්‍රිකට් තරගාවලියේ පරාජයත් සමඟම සිය ධුරයෙන් නෙරපනු ලැබීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට ප්‍රථම තමන් ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන පුහුණුකරුවන්ගෙන් තමා මේ භාර ගැනීමට යන්නේ කුමන ආකාරයේ කණ්ඩායමක් ද යන්න වග සංවාද කීපයකම නිරත වූ බවද සඳහන් කර සිටියේය.

“මේ තනතුර භාර ගැනීමට පෙර මම බලමු එක දෙයක් තමයි මේ කණ්ඩායමේ වෙනසක් මට කරන්න පුලුවන්ද…? කියන එක. එතැනදි මම සිටියේ එහෙම වෙනසක් මටකරන්න පුලුවන් කියන ස්ථාවරයේ ” යනුවෙන් සිල්වර්වුඩ් මහතා සඳහන් කර සිටියේය.

කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් වසර 2 කට අධීක කාලයක් නිරුපද්‍රිත මාධ්‍ය හමුවක් පැවැති පළමු අවස්ථාව වශයෙන් අද පැවැති මාධ්‍ය හමුවට සටහන්විය. මාධ්‍යවේදීන් සමඟ ඉතාම සුහදශීලී ලෙසින් අදහස් දක්වා සිටි සිල්වර්වුඩ් මහතා ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යෑම හරහා මෙරට ධජය ලොව ලෙලදවීමට හැකියාව පවතින බවයි.

“අපි අපේ කණ්ඩායම ඉදිරියට තල්ලු කරගෙන යන්න පුලුවන් වුණොත් අපිට නිසැකයෙන්ම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා. එහෙම වුණොත් මීට පෙර ශ්‍රී ලංකාව සිටි ප්‍රමුඛයින්ගේ ලැයිස්තුවට නැවතත් අවතීර්ණවීමේ හැකියාව පවතිනවා. නමුත් ඒ හා සමානවම මට අවශ්‍ය වන්නේ ක්‍රීඩකයින් තුළ වූ දක්ෂතා ඔප් නැංවීමටයි. මෙහිදී ඔවුන් ඔවුන්ගේ අදහස් දැක්වීම අතශවශ්‍ය වන නමුත් ඔවුන් වෙනත් ක්‍රීඩකයකු වීමේ අවශ්‍යතාවයක් නැහැ. එතැනදී වැදගත්ම දේ තමයි මම කළින් කිව්වා වගේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයන් වෙනුවෙන් ජාතික කොඩිය ලොව තුළ ලෙළදීමයි” යැයි සිල්වර්වුඩ් මහතා සඳහන් කර සිටියි.

ඒ සඳහා වන අභියෝගයන් පිළිබඳව අදහස් දැක්වීමේදී සන්නිවේදනය ඉන් ප්‍රධාන තැනක් ගනු ලබන බවද සිල්වර්වුඩ් මහතා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය. “ඒ තැනට යන්න තියෙන මට තියෙන එක් අභියෝගයක් තමයි සන්නිවේදනය කර ගැනීම. මම එහෙම කියන්නේ මම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැලසුම් පිළිබඳව ක්‍රීඩකයින්ට ලබා දීමට  හැකි බව වූ සහතිකවීමක් මා තුළ තිබිය යුතුයි. ඒ සඳහා මට නවීඩ් (නවාස්) විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙනවා” යැයිද සිල්වර්වුඩ් මහතා පැවැසීය. ඔහු එලෙස පවසන අවස්ථාවේ නවීඩ් නවාස් ඔඞහුගේ දකුණත් ප්‍රදේශයේ අසුන් ගෙන සිටියේය.

මෑත කාලීන ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව නොයෙක් මත පළ වූ අතර ඒ පිළිබඳව වැඩි යමක් සඳහන් කිරීමට සිල්වර්වුඩ් මහතාට තවම කාලයක් නොමැත. එහෙත් ඒ සම්බන්ධව ද මාධ්‍යවේදීන් අද දිනයේදී විමසා සිටින ලදුව, “යෝග්‍යතාවය සම්බන්ධයෙන් කුමන දේ කලත් ආකල්පය ‘සැමවිටම කණ්ඩායම පළමුව විය යුතුයි’ යැයි ඊට පිළිතුරු ලෙසින් ලබා දුන්නේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest