By Chamila Karawita
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය යටතේ හෙට (15 දා) චැටෝග්‍රෑම්හි සහූර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේ ඇරඹෙන පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනෙකු සමඟින් අවතීර්ණ වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අදහස් කරගෙන සිටියි. පිතිකරුවන්ට පාරාදීසයක් බඳු චැටෝග්‍රෑම් තණතිරුවේදී ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනාට අමතරව වේග පන්දු යවන්නන් දෙදෙනකුද සමඟින් අවතීර්ණවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලික සැලසුම වී තිබේ.
තරග ආරම්භයට දින දෙකකට පෙරත් චැටෝග්‍රෑම් තණතීරුව තරමක කොල පැහැ ස්වභාවයකින් යුක්තවීම නිසා ශ්‍රී ලංකා නායකයා ඇතුළු කළමනාකාරීත්වය ඉහත තීරණයේ රැදී සිටියි. කෙසේ වෙතත් තරගය ආරම්භ වන දිනය උදෑසන සත්කාරකයින් විසින් තණතීරුව සකසන්නේ කොයි ආකාරයකටද යන්න පිළිබඳව ගනු ලබන තීරණය මත ඉහත සංයුතිය වෙනස්වීමේ ඉඩ කඩක් ද පවතිනු ඇත.
පිතිකරුවන් පාරාදීසයක් බඳු චැටෝග්‍රෑම් තණතීරුවේදී දෙපිළම ඉකුත් 2018 වසරේදී මුණ ගැසී තිබෙන අතර එහිදී ශතක 5 ක් වාර්තා කිරීමට දෙපිලේ පිතිකරුවෝ සමත්වූහ. ලකුණු 1500 කට අධික ලකුණු සංඛ්‍යාවක් වාර්තා වුණු ඒම තරගය පිළිබඳව අවධානය යොමු කිරීමේදී වැඩිපුර පන්දු යවන්නකු සමඟින් අවතීර්ණවීම වඩා යහපත් වනු ඇත.
ඒ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු රකින්නාද සමඟ ප්‍රධාන පිතිකරුවන් හය දෙනෙකු සහ පන්දු යවන්නන් පස් දෙනෙකු සමඟ තරග වදිනු ඇත. චැටෝර්ග්‍රෑම් පිටියේ ඇති පැරැණි මතකය අවධ කර සිටින දිමුත් කරුණාරත්න, අතීතය සහ වර්තමානය සංසන්දනය කිරීමේදී කිසිදු වෙනසක් තමන්ට දැක ගැනීමට නොහැකි බවත් එය සුපුරුදු පරිදි පිතිකරුවන්ගේ රජදහනක් නමුත් තරගය ජය ගත හැකි සංයුතියක් සමඟින් අවතීර්ණවීමට තමන් ඇතුළු කලමනාකාරීත්වය බලාපොරොත්තුවෙන් පසුවෙන බවයි.
ඒ් අනුව පෙර සඳහන් කළ පරිදිම ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනෙකු සමඟින් අවතීර්ණවන බැවින් මෙතෙක් දිනක් අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි කඩුල රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට සිදවනු ඇත. මේ පිළිබඳව හඬ අවධි කිරීමේදී නිරෝෂන් දික්වැල්ලට තම පිතිකරණය සම්බන්ධව මීට වඩා වගකීමකින් යුක්තව කටයුතු කරන මෙන් තමන් පෞද්ගලිකවම දැනුම් දී සිටි බව ශ්‍රී ලංකා නායකයා අවධාරණය කර සිටියේය.
ටෙස්ට් පිටියේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන ඉනිම කීපයක්ම ක්‍රීඩා කිරීමට නිරෝෂන් දික්වැල්ල සමත්වුවත් ඉන්දියාවට එරෙහිව අවසන් වරට ක්‍රීඩා කරන ලද තරග දෙකේදීම පිතිකරුවකු ලෙස කැපී පෙනෙන යමක් කණ්ඩායම වෙනුවෙන් සිදුකිරීමට ඔහු අපොහොසත්වූවේය. එහෙත් හෙට තරගයේදීත් දික්වැල්ල පිළිබඳ විශ්වාසය තබමින් ඔහුට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙන බව නායක කරුණාරත්න සඳහන් කර සිටියේය.
හෙට තරගය පිළිබඳව මැයි 13 වැනිදා පස්වරුවේ තාක්ෂණය භාවිතයෙන් පවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව ශ්‍රී ලංකා නායකය කරුණු හෙළි කර සිටියේය. එංගලන්ත තරග සංචාරය අතරතුරදී ජෛව බුබුල බිඳ දැමීමේ වරදට දඬුවම් ලැබීමෙන් පසු නැවතත් ඉකුත් මාර්තු මස පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා දික්වැල්ලව ඇතුළත් කෙරුණත් එම ඉනිම 4 දී ඔහු රැස් කිරීමට සමත්වූයේ ඒක් අර්ධ ශතකයක් සමඟ ලකුණු 86 ක් පමණි.
“අපි ඇත්තටම බැලුවොත් ඔහු ක්‍රීඩා කරන්නේ අක 7 ස්ථානයේ නිසා ඔහුට අවසන් පිතිකරුවන් සමඟ දීර්ඝ ඉනිම ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් ලැබෙන්නේ නෑ. නමුත් ලැබුණු සමහර අවස්ථාවන්වලදීත් ඔහු හරි ප්‍රයෝජනයක් ලබා ගන්නවාද කියලා අපිට දැක ගන්න ලැබුණේ නෑ. මම කීප විටෙකම කණ්ඩායමට ඔහුගෙන් අවශ්‍ය වන්නේ මොනවද කියන එක පෞද්ගලිකවම කතා කරලා කිව්වා. මම විශ්වාස කරනවා ඉදිරියේදී ඔහු ඒ් වරද නිවැරදි කර ගනිවී කියලා” යැයි දිමුත් සිය කඩුලු රකින්නා පිළිබඳව විශ්වාසය පළ කර සිටියෙය්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 47 කට ක්‍රීඩා කළ ඇතත් දික්වැල්ල මේ වන තෙක්ම ශතකයක් වාර්තා කිරීමට අසමත්ව සිටියි. ඒ අනුව වැඩිම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකට ක්‍රීඩා කළත් ශතකක් ලබා ගැනීමට අපොහොසත්ව සිටින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැන දික්වැල්ලට හිමිව තිබේ. එහි පළමු වැන්නා බවට පත්ව සිටින්නේ ටෙස්ට් තරග 145 ක් වෙනුවෙන් ඔස්ට්‍රේලියාව නියෝජනය කොට මෑතකදී අප අතරින් ජීවන දිවියට සමුදුන් හිටපු ඔස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ෂේන් වෝන් වේ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම 199 ක් වෝන් ක්‍රීඩා කර තිබෙන අතර දික්වැල්ල ඉනිම 84 කට ක්‍රීඩා කොට එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවේ.
ආරම්භක පිතිකරුවන් ලෙසින් කටයුතු කළ පැතුම් නිස්සංකත් ආබාධයකට ගොදුරුවීමත්, තේරීම් සඳහා ළහිරු තිරිමාන්න ඉදිරිපත් නොවීමත් නිසා හෙට තරගයේදී දිමුත් කරුණාරත්න සමඟ ඕෂධ ප්‍රනාන්දු ඉනිම ආරම්භ කරනු ඇත. ඉන්දීය තරග සංචාරය සඳහා ඇතුළත් නොවුණු බැවින් අවසන් වුණු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනියට වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට පත් වෙමින් නැවතත් කණ්ඩායමේ ස්ථානය දිනා ගැනීමට ඕෂධ සමත්ව සිටියි. අවසන් මහ තරගයේ රැස් කරන ලද ශතකයද සමඟ ඕෂධ ඉනිම 11 කදී මුලු ලකුණු 721 ක් රැස් කොට එම තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානයෙන් පිදුම් ලැබීය.
ආරම්භක පිතිකරු ස්ථානය සඳහා නවක පිතිකරුවකු වන කමිල් මිශාරද සංචිතයේ පසු වුවත් ආරම්භක පිතිකරුවකු ලෙස ඕෂධ සතු අත්දැකීම් සම්භාරය හෙට තරගයේදී ඔහුට කණ්ඩායමේ ස්ථානය විවර වීමට හේතු වී තිබේ.
කුසල් මෙන්ඩිස් අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසෙද්දී ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා පිළිවෙළින් අංක 4 සහ 5 යන ස්ථානවලින් පනදුවට පහර දෙනු ඇත. මේ අතර ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ඉන්දීය තරග සංචාරය අහිමිවූ රමේෂ් මෙන්ඩිස් ප්‍රධාන පන්දු යවන්නකුට අමතරව අංක 7 ස්ථානයේ පිතිකරුවාගේ වගකීමද පැවරෙනු ඇත. ඔහු සමඟින් වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම ක්‍රීඩා කරනු ඇත.
ගැටලුවකට පවතින එකම ස්ථානය වන්නේ සුරංග ලක්මාල්ගෙන් පසු වේග පන්දු යවන්නන් අතරින් විශ්ව ප්‍රනාන්දු සමඟ ක්‍රීඩා කරන වේග පන්දු යවන්නා කවුරුන්ද යන්න පමණි. එම ස්ථානය සඳහා අසිත ප්‍රනාන්දු මෙන්ම කසුන් රජිත අතර පවතින්නේ දැඩි තරගයකි. “ආබාධයෙන් පසු කසුන් (රාජිත) ඉතා හොඳින් පන්දු යවමින් සිටිනවා. ඔහු නැෂනල් සුපර් ලීග් තරගාවලියේදී හොඳින් පන්දු යැව්වා. ඒ වගේම අසිත ප්‍රනාන්දුත් ඉතාම හොඳින් ඒ තරගාවලියේදී පන්දු යැව්වා. ඒ නිසා මොවුන් දෙන්නා අතර තියෙන්නේ හොඳ තරගයක්. නායකයකු විදියට ඒ වගේ තීරණ ගැනීමට අපහසු වන තරමට පත්වීමට ලැබීමට මම කැමැත්තක් දක්වනවා. එයින් අදහස් වෙන්නේ තෝරා ගැනීමට ඔ්නෑ තරම් ශක්තිමත් විකල්ප තියෙන බවයි. ඒ අනුව සුරංගගේ ස්ථානය වෙනුවෙන් මේ තරුණ ක්‍රීඩකයින්ට කණ්ඩායමට පැමිණෙන්න හොඳ අවස්ථාවක් දැන් නිර්මාණය වෙලා තියෙනවා” යැයි ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය.
මේ අතර කොවිඩ් ආසාධනය වී සිටි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ගේ වාර්තා සුභ දායී තත්ත්වයකට පත්ව තිබෙන නිසා ඔහු අවසන් බංග්ලාදේශ කණ්ඩායමට නැවතත් එක්ව සිටියි. දෙරට අතර ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල දෙදින තරගයකට සහභාගිවුවත් එම සමස්ථ තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 18.3 කට සීමා වීම නිසා බංග්ලාදේශ තණතීරු පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය.
ටෙස්ට් ඉතිහාසයේ අවස්ථා 22 කදී ශ්‍රී ලංකාවත් බංගලාදේශයත් ටෙස්ට් තරග වලදී මුණ ගැසී තිබෙන අතර ඉන් 17 වතාවක් ශ්‍රී ලංකාව ජය ගනිද්දී බංගලාදේශ පිල එක් අවස්ථාවක ජය වාර්තා කරගෙන තිබේ. තරග 4 ක් ජය පැරදුමෙන් තොරව අවසන්ව තිබේ.
හෙට තරගයට අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න (නායක) , 2. ඕෂධ ප්‍රනාන්දු, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. ධනංජය ද සිල්වා, 6. නිරෝෂන් දික්වැල්ල, 7. රමේෂ් මෙන්ඩිස්, 8. ලසිත් ඇඹුල්දෙණිය, 9. ප්‍රවීන් ජයවික්‍රම, 10. විශ්ව ප්‍රනාන්දු, 11. කසුන් රජිත/අසිත ප්‍රනාන්දු.
බංග්ලාදේශය – මොමිනුල් හක් (නායක), ටමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන්, යසීර් අලී, ශකීබ් අල් හසන්, මොසදෙක් හොසේන්, මෙහෙද හසන්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, නුරුල් හසන්, තයිජුල් ඉස්ලාම්, නයීම් හසන්, එබාදත් හොසේන්, ඛලීඩ් අහමඩ්, රහ්මන් රාජා, ෂොහිදල් ඉස්ලාම්, ෂොරිෆුල් ඉස්ලාම්.