slc
Home   |    News
මැයි 19, 2022
පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

sinhala editor

By Chamila Karawita

නායක දිමුත් කරුණාරත්නත් උප නායක ධනංජය ද සිල්වාත් අනවශ්‍ය පහර කරා යෑමෙන් සිය කඩුලු අහිමි කර ගත්තද නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් ක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක නොබිඳුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වීම නිසා චිටෝග්‍රෑම්හි පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (19 දා) හැකියාව ලැබිණ.

ටෙස්ට් තරග 47 කට ක්‍රීඩා කර ඇතත් තවමත් ශතකයක් වාර්තා කිරීමට අසමත්ව සිටින කඩුල රකින නිරෝෂන් දික්වැල්ලට අද දිනයේදී ශතකය කරා පහසුවෙන්ම යෑමට අවස්ථාව තිබුණද අවසන් හෝරාව එළැඹෙත්ම දෙපිළේම කැමැත්තෙන් තරගය නතර කර දැමීමට විනිසුරුවෝ කටයුතු කිරීම නිසා එම අවස්ථාව ඔහුට අහිමිවූවේය.  ඒ වන විටත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 කට ලකුණ 260 ක් ලබා දෙවනි ඉනිමේදී ලකුණු 192 ක් ඉදිරියෙන් පසුවිය.

පන්දු 96 ක මුහුණ දුන් වමත් පිතිකරුවා සිය ඉනිමට හතරේ පහර 6 ක් ද සමඟන් නොදැවී ලකුණු 61 ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ. මොවුන් දෙදෙනා අතර දික්වැල්ල පහර කරා ගියද ජය පැරදුමෙන් තොර තරගයක ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව චන්දිමාල් පන්දුවට පහර දෙනු දැක ගත හැකි වූයේ ඔහු මුහුණ දුන් පන්දු 135 දෙස අවධානය යොමු කිරීමේදීය.

දෙවැනි ඉනිමේදී ලකුණු 68 ක් පිටුපසින් සිටි දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා පිල තරගයේ පස්වැනි සහ අවසන් දිනය ආරම්භ කරන ලද්දේ කඩුලු 2 කට ලකුණු 39 ක් ලෙසින් සටහන්ව තිබියදීය. කුසල් මෙන්ඩිස් සහ නායක දිමුත් කරුණාරත්න ඒක්ව දිවා ආහාරය වන තෙක් කඩුලු ආරක්ෂා කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට සැනසිලිදායක තත්ත්වයකට පැමිණීමට අඩිතාලම වැටිණ. එහෙත් ලකුණු 48 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් සහ පළමු ඉනිමේ ලකුණු 199 ක් ලද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 04 ක් ඇතුළත දැවී යෑම නිසා ශ්‍රී ලංකාව යළි අසීරුතාවයට මුහුණ දුන්නේය.

ඒ අතරතුරදී සිය 28 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට නායක කරුණාරත්න සමත්වූවේය. දීර්ඝ වේලවක් තිස්සේ කඩුල්ලේ රැඳුණු වමත් පිතිකරුවා, ඉවසීම ඉහවහා ගිය තැන ඉදිරියට පැන එල්ල කරන ලද පහර උඩ පන්දුවක් ලෙසින් ප්‍රතිවාදී නායක මොමිනුල් හක් විසින් රැක ගත්තේය. ඒ වන විටත් දිමුත් පන්දු 138 කට මුහුණ දී තිබුණේය. මැතිව්ස්ගේ දැවී යෑමත් සමග නැවතත් අස්ථාවරත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා පිලට යළි ගොඩ ඒම වෙනුවෙන් උප නායක ධනංජය ද සිල්වා රැස් කරන ලද ලකුණු 33 ද වැඩි වටිනාකමක් ඒක් කළේය. ශකීබ් අල්හසන්ගේ පන්දුවකට කඩුලු රැකි මුෂ්ෆිකර් රහීම් උඩ පන්දුවක් රැක ගැන්ම මත ධනංජය පිටියෙන් ඉවතට යන විට සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් වර්ණවත් කරගෙන සිටියේය.

තරගයේ වීරයා ලෙසින් පළමු ඉනිමේදී ලකුණු 199 ක් ලද ඇන්ජලෝ මැතිව්ස්ව නම් කරන ලදී.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest