slc
logo
Home   |    News
මැයි 16, 2022
මැතිව්ස් ද්විත්ව ශතකය පෙනි පෙනී දැවී යයි

sinhala editor

By Chamila Karawita

ද්විත්ව ශතකය පෙනි පෙනී දැවී ගියද තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස මනාව ඉටු කළ ඇන්ජලෝ මැතිව්ස්ගේ ලකුණු 199 ක සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට බංග්ලාදේශ පිලට එරෙහිව චිටෝග්‍රෑම්හි සහීර් චෞදි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 397 ක් රැස් කර ගැනීමට හැකියාව ලැබිණ. කෙසේ වෙතත් ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමේදී ප්‍රබල පිළිතුරක් ලබා දී සිටින බංග්ලාදේශ පිල දිනය නිමා වන විට කිසිවකු නොදැවී ලකුණු 76 ක් ලබා සිටියේය.

ශතකයක් ලබා ගත්තද ඉන් සෑහීමකට පත් නොවුණු ඇන්ජලෝ මැතිව්ස්ගේ ද්විත්ව ශතකය කරා ගිය ගමනේදී එක් ලකුණක් තිබියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. පැය 9 කුත් මිනිත්තු 38 ක් මුලුලේලේ පන්දුවට පහර දුන් හිටපු නායකයා තවත් එක් ලකුණක් ලබා ගැනීමට සමත්වූයේ නම් ඔහුගේ ටෙස්ට් තරග දිවයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව සම කිරීමේ අවස්ථාව තිබිණ. කඩුල්ල අහිමි කරගන්නා විට මැතිව්ස් පන්දු 397 කට මුහුණ දෙමින් සිය ඉනිම හතරේ පහර 19 කින් සහ හයේ පහරකින් සරසාගෙන සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී  ලංකාව වෙනුවෙන් ලකුණු 199 සීමාවට පැමිණ ද්විත්ව ශතකය අහිමිවූ තෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවට මැතිව්ස් පත්වූවේය. ඔහුට ප්‍රථම සනත් ජයසූරිය (ඉන්දියාවට ඒරෙහිව එස්. එස්. සී. පිටියේදී) සහ කුමර් සංගක්කාර (පාකිස්තානයට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී) ලකුණු 199 රැඳෙමින් ද්විත්ව ශතක අහිමිකරගත් පිතිකරුවෝ වූහ. මෙහිදී සංගක්කාරගේ ඉනිම නොබිඳිව පැවැතීම කැපී පෙනෙයි.

තේ පානයට පෙර යවන පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ශොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් විශ්ව ප්‍රනාන්දුගේ හිසේ දැවටීම නිසා තේ පානයෙන් පසුව ඔහු පන්දුවට පහර දීමට නොපැමිණියේය. ඒ වෙනුවට මැතිව්ස් සමග පැමිණියේ අවසන් පිතිකරුවා වූ අසිත ප්‍රනාන්දු විය. පන්දු 27 ක් තිස්සේ මැතිව්ස්ට සහාය දැක්වූ අසිත නයීම්ගේ පස්වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවතට යෑමත් සමඟ නැවතත් පන්දුවට පහර දීම සඳහා විශ්ව පිටියට පිවිසියේය. තේ පානයෙන් පසු ලකුණු 178 ක් රැස් කරගෙන සිටි මැතිව්ස් අසිත දැවී යන විට ලකුණු 192 ක් ලබා සිටියේය.

මිඩ් විටක් කළාපයේ පන්දු රැකි ශකීබ් අල් හසන් උඩ පන්දුවක් රැක ගැනීමත් සමඟ මැතිව්ස්ගේ ඉනිම පමණක් නොව ශ්‍රී ලංකා ඉනිමද ලකුණු 397 කදී නිමාවට පත්විය. මැතිව්ස්ගේ ඉනිම ඒසේ නිමා වද්දී ඔහු අනගි සහායක් ලබා දුන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 17 ක් ලබා අනෙක් අන්තයේ නොදැවී රැයේ සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මැතිව්ස්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟම නයීම් හසන්ගේ ටෙස්ට් තරග දිවයේ හොඳම පන්දු යැවීමද සටහන් වූයේ ලකුණු 105 කට කඩුලු 6 ක් ලෙසිනි.

කඩුලු 4 කට දැවී ලකුණු 258 ක් තිබියදී  දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා පිල නයීම් හසන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට කඩුලු 6 කට ලකුණු 327 ක් ලෙසින් සටහන් විය. දිනේෂ් චන්දිමාල් සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පළමු සැසිය ඇතුළත දැවී ගිය පිතිකරුවන් බවට පත්වූහ. දිවා භෝජනයෙන් පසු ඇරැඹි තරගයේදී ශකීබ් අල් හසන් විසින් පිට පිට පන්දු 2 කදී රමේෂ් මෙන්ඩස් සහ ලසිත් ඇඹුල්දෙණියගේ කඩුලු  දවා කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ ආසන්නයට පැමිණියේය. ඒහෙත් ඊළඟ පන්දුවට මුහුණ දීමට සඳහා පැමිණි විශ්ව ප්‍රනාන්දු ශකීබ්ගේ කඩුලු ත්‍රිත්වය සිහිනයක් බවට පත් කළේය.

දිනය ආරම්භයේ සිට මනා විශ්වාසයකින් පන්දුවට පහර දුන් මැතිව්ස් – චන්දිමාල් යුගල පිටියේ පාලනය මුලු මනින්ම නතු කර ගැනීමට සමත්වූහ. දුර්වල පන්දු දුටු සැනින් දෙවරක් නොසිතා පහර එල්ල කළ මොවුන් දෙපළ අතරින් චන්දිමාල්ගේ ඉවසීම බිඳී යෑම පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටීමට හේතුවිය. ලකුණු 136 ක් ලෙසින් සටහන් වුණු ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේදී අනවශ්‍ය රිවර්ස්වීප් පහර චන්දිමාල්ට අවාසනාව ගෙන ආවේය. නයීම් හසන් විසින් පිට ඉන්නට මඳක් ඈත්න් වන සේ කඩුල්ල තුළට දඟ කව ඒවූ පන්දුවට එල්ල කරන ලද රිවර් ස්වීප් පහර වැරදී යෑමෙන් චන්දිමාල්ගේ වටිනා ඉනිම නිමාවට පත්වූවේය. පන්දු 148 කදී ගොඩනැංවුණු චන්දිමාල්ගේ ලකුණු 66 ක ඉනිම ඔහුගේ 21 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය. හතරේ පහරවලට වඩා හයේ පහර වලින් ලකුණු රැස් කිරීමට රුචිකත්වයක් දැක්වූ චන්දිමාල් සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් කර ගත්තේය.

ඔහුගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල වැඩි යමක් පිටිය තුළ සිදුකිරීමට නොහැකි වූයේ නයීම්ගේ පන්දුවක් කළින්ම පිට ඉන්න සොයා කඩුල්ල බිඳී යෑම හේතුවෙනි. පෙර පන්දු 3 ට වඩා තරමක් වේගය මුසු කරමින් යොමු කරන ලද පන්දුවට දික්වැල්ල කට් පහරක් එල්ල කරද එම පහර එල්ල කරන ද වේගයට වඩා වේගයෙන් පන්දුව කඩුල්ල සොයා පැමිණීයේය. මෙම තත්ත්වය තුළ 114 වැනි පන්දුවාරයේදී කඩලු 4 ට ලකුණු 319 ක් ලෙසින් පැවැති ලකුණු පුවරුව ඊට පන්දු 5 කට පසු දිස්වූයේ ලකුණු 323 කට කඩුලු 6 ක්  ලෙසිනි. දික්වැල්ලගේ 48 වැනි ටෙස්ට් තරගය බවට පත් මෙම තරගයේදීත් තවමත් ශතකයක් වාර්තා කිරීමට හේ අපොහොසත් විය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest