slc
Home   |    News
මැයි 24, 2022
ශ්‍රී ලංකාව ලකුණු 222 ක් පිටුපසින්

sinhala editor

By Chamila Karawita

කසුන් රාජිතගේ වාර්තාගත පන්දු යැවීම නිසා බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 365 කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (24 දා) පස්වරුවේ තරගය නිමා කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 143 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියහ.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නකු විසින් බංග්ලාදේශයට එරෙහිව ඔවුන්ගේ නිජබිමේදී කඩුලු 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන කසුන් රාජිත ඉතිහාස ගත වූ මෙම තරගයේ දිවා භෝජනෙයන් ස්වල්ප වේලාවකට පසු ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම ආරම්භ කළේය.

එහිදී තේ පානය තෙක්ම සිය කඩුලු ආරක්ෂා කරගත් නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පන්දුවට පහර දුන්හ. තේ පානය සඳහා නවත්වන විට ලකුණු 82 ක් ලෙසින් සටහන් වුණු ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු  12 ක් ලකුණු පුවරුවට එකතු වන අතරවාරයේ පළමු කඩුල්ල ලෙසින් එබදත් හොසේන්ගේ පන්දුවක් හමුවේ ඕෂධ දැවී ගියේය.

දැවී යෑමට ප්‍රථම ඔහු නායකයා සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සම්බන්ධතාවයකට දායක වූවේය. පන්දු 91 කට මුහුණ දුන් දකුණත් ආරම්භක පිතිකරුවා ඉන් එක් වතාවක් හයේ පහරක්ද අවස්ථා 8 කදී හතරේ පහරවලින්ද සිය ඉනිම අලංකාර කරගෙන සිටියේය.

වසර 2 කට අධික කාලයක් තිස්සේ ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමේ ආශ්වාදය විඳ නොමැති කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදී එම අඩුපාඩුව මකා ගැනීම සඳහා උවමනාවටත් වැඩියෙන් අවස්ථාව තිබුණත් ශකීබ් අල් හසන්ගේ පන්දුව කුසල්ගේ පිත්තට කළින් ඉස්සර වූවේය. පා ආවරණය සොයා යෑමත් එය කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව යෑමට තරම් ප්‍රමාණවත් කරුණු අන්තර්ගත වූයෙන් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 11 කදී නිමාවට පත්විය.

දිනය හමාර වන විට දිමුත් සමග කඩුල්ලේ රැඳී සිටින්නේ සැඳෑ පිතිකරුවාගේ වගකීම ගෙන පිටියට පිවිසි කසුන් රාජිතය. බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 222 ක් ශ්‍රී ලංකාව පිටුපසින් සිටින්නේ වටිනාම පිතිකරුවා වන නායක දිමුත් කරුණාරත්නද (ලකුණු 70 ක්) ඇතුළුව තවත් කඩුලු 8 ක් අත දරාගෙනය.   

පෙර දිනයේදී බංග්ලාදේශ ඉනිමේ ගැලවුම්කරුවන් බවට පත් වුණු හිටපු නායක මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස්ගේ සම්බන්ධතාවය ලකුණ 272 කදී බිඳ දැමීමට කසුන් රාජිත සමත්වූවේය. ඒ ලිටන් දාස් ලකුණු 141 කට දවා ගැනීමත් සමඟය. දැවී යන විටත් සිය ටෙස්ට් තරග දිවියේ වැඩිම ලකුණු වාර්තා කර ගැනීමට බංග්ලාදේශ කඩුලු රකින්නා සමත්ව සිටියේය. පන්දු 246 ක් පුරා විහිදුණු දාස්ගේ ඉනිම සඳහා ඔහු හයේ පහරක් සහ හතරේ පහර 16 ක් ඒල්ල කර තිබුණි.

දාස්ගේ කඩුල්ල දවා ගත් කසුන් ඊට පන්දු 3 කට පසු නැවතත් මොසදික් හොසේන්ගේ කඩුල්ල දවා ගනිමින් පළමු වතාවට ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් දවා ගත්තේය. පන්දුවාර 28.2 කදී නිලකුණු පන්දු වාර 7 ක්ද සමග ලකුණු 64 කට කඩුලු 5 ක් ලෙසින් වාර්තා වුණු කසුන්ගේ පන්දු යැවීම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නකු විසින් බංග්ලාදේශයට ඒරෙහිව ඔවුන්ගේ නිජ බිමේදී කඩුලු 5 ක් දවා ගත් පළමු අවස්ථාවේ වාර්තාව බවටද පත්විය.

කසුන්ට අමතරව දැවී ගිය අනෙක් කඩුලු 4 ම හිමිකාරයා බවට පත්ව සිටින්නේ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු වන අතර ඔහු ලකුණු 93 කට කඩුලු 4 ක් බිඳ හෙළා තිබේ. උදෑසන සිටම බංග්ලාදේශ පසු පෙළ පිතිකරුවන් වෙනුවෙන් කෙටි පන්දු යැවීමේ උපක්‍රමය භාවිතයෙන් වේග පන්දු යවන්නන් පන්දු යැවීම විශේෂත්වයක් විය. එහෙත් ඒ අතරින් නොසැළී සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 175 ක් ලබා බංග්ලාදේශ ඉනිම හමාර වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගත්තේය. පුරා හෝරා 6 කට ආසන්න කාලයක් පුරා පිටියේ රැඳී සිටි රහීම් සිය වෙහෙසකර ඉනිම සඳහා පන්දු 355 කට මුහුණ දුන්නේ ඉන් 21ක හතරේ පහර බැගින් පරිවර්තනය කර ගනිමිනි. මෙම ඉනිම සටහන් වූයේ රහීම්ගේ ටෙස්ට් තරග දිවියේ ලකුණු 150 සීමාව ඉක්මවා ගිය පස්වැනි අවස්ථාව ලෙසිනි. ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිසි එබදොත් හොසේන්ගේ පිත්තේ වැදණේ යැයි සිදුකරන ලද ඉල්ලීමට විනිසුරු ප්‍රතිචාර දැක්වුවද එය අභියෝගයට ලක් කිරීමේදී ඔහු නොදැවුණු ක්‍රීඩකයකු ලෙස පුණරූපනවල සටහන් විය. ඒ අනුව අසිත ප්‍රනාන්දුගේ නම ඉදිරියෙන් කඩුලු 5 ක් ලෙසින් ලියැවුණු අවස්ථාව මිනිත්තු ගණනකට පමණක් සීමා විය. දිවා භෝජනයෙන් පසු ලකුණු පුවරුවට ලකුණු 12 ක් එකතුවන අතර වාරයේදී දුවද්දී දැවී යෑමකට හසුව හොසේන්ගේ ඉනිම නිමාවත් සමඟම බංග්ලාදේශ පළමු ඉනිමද ලකුණු 365 කට නිමාවට පත්විය. බංග්ලාදේශ ඉනිමේ වාර්තා වුණු ලකුණු 365 න් ලකුණු 333 ක්ම රහීම් සහ දාස් විසින් වාර්තා කරන ලද ඒ්වා වූ අතර ලකුණු 32 ක් පමණක් සෙසු පිතිකරුවන් වාර්තා කර ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක් වේ. ඒ් අතරිනුත් පිතිකරුවන් හය දෙනෙකු ලකුණු නොලබා යෑමද වසර 145 ක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා අලුත් කරවන්නක් බවට පත්විය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest