slc
Home   |    News
ජූනි 10, 2022
තෙවැනි තරගයේදී ‘ඩොට් බෝල්’ අඩුකරගන්න සැලසුම්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

පැය 24 කටත් වඩා අඩු කාලයකදී පැවැති විස්සයි-20 තරග 2 ම පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකාව, අවම වශයෙන් ගෞරවාන්විත තරගාවලි නිමාවක් අපේක්ෂාවෙන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තෙවැනි තරගය සඳහා සූදානම් වෙමින් සිටියි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (10 දා) සවස් කාලයේදී පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් වල නිරත වෙමින් සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටින බරපතලම ගැටලුව බවට පත්ව තිබෙන්නේ සිය පිතිකරුවන් තවමත් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත්වී සිටීමය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හෙට ප.ව. 7.00 ට ආරම්භ වන තරගයේදී කොළඹ තරග වලට සාපේක්ෂව වෙනසක් සිදුකිරීමට නම් සිය පිතිකරුවන්ගේ පිති මුවහත් කර ගැනීම සඳහා වෙනමම උපක්‍රමයක් සොයා ගත යුතුය. ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථකත්වයට පත්වීමට සමත් වද්දී මැද පෙළ මෙන්ම පසුපෙළ පිතිකරුවන්ට කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට නොහැකිවීම, මුහුණ දී සිටින බරපතලම ගැටලුව වේ.

දේශීය තත්ත්වයන් යටතේ තරග වැදුණද සත්කාරකයින්ට වඩා සංචාරක කණ්ඩායමේ පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන් මෙහි රිද්මයන්ට අනුගතව සිටීම ශ්‍රී ලංකා පිලට එල්ල වී තිබෙන තවත් පීඩනයකි. දසුන් ශානකට ඇති එකම සහනය වන්නේ ප්‍රතිවාදීන්ට අභියෝගයක් විය හැකි මට්ටමේ ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් තමන් සතුවීමයි. එහෙත් පන්දු යවන්නන්ට තරගයක් දිනවන්නට නම් ඒ සඳහා ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවිය යුතුය. දෙවැනි තරගය පරාජයට පත්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා පැමිණි වනිඳු හසරංග පවා සඳහන් කර සිටියේ පිතිකරුවන්ගෙන් මීට වඩා සේවයක් කණ්ඩායමට ඉටුවිය යුතු බවයි.

එබැවින් අද තරගයේදී ආරම්භක පිතිකරුවාගේ සිට අවසන් පිතිකරුවා දක්වා වූ පිතිකරණ ලැයිස්තුව රෑ වැටුණු වලේ දවල් නොවැටී සිටීමට වගාබලාගත යුතුවා පමණක් නොව පළමුව පන්දුවට පහර දුනහොත් අවම වශයෙන් ලකුණු 160 සීමාවෙන් ඔබ්බට වූ ඉලක්කයක් ප්‍රතිවාදීන් හමුවේ ලබාදීමට උත්සාහගත යුතුය.

නායක දසුන් ශානකගේ පිත්ත තෙවැනි තරගයේදී ක්‍රියාත්මක වීම අනිවාර්ය වේ. අවසන් වරට ඉන්දියාවට එරෙහි තරගාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත් වුවද මැද පෙළ පිතිකරුවකු ලෙස ශානක දැවැන්ත ප්‍රගතියක් පෙන්නුම් කළ්ය. ඉන්දීය තරගාවලියේදී පන්දු 19 කින් ලකුණු 47 ක් සහ පන්දු 38 කින් ලකුණු 74 ක් ලබා මැද පෙළට විශාල ශක්තියක් ලබා දුන් සුදු පන්දු කණ්ඩායමේ නායකයා, පළමු තරගයේදී මුහුණ දුන් දෙවැනි පන්දුවේදීද දෙවැනි තරගයේදී පන්දු 19 කින් ලකුණු 14 ක් ලබා සිටියදී දැවී ගියේය. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් කණ්ඩායමට එක්ව සිටියද ඔස්ට්‍රේලියානුවන්ට අභියෝගයක් එල්ල කිරීමේදී ඔහු පන්දුවෙන් තමාව භාවිතා කිරීමද ප්‍රතික්ෂේප කර සිටියේය.

වනිඳු හසරංගගේ දක්ෂ පන්දු යැවීමත් සමඟ දෙවැනි තරගයේදී ඔස්ට්‍රේලියානුවන්ව ග්‍රහණයට හසුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායට අවස්ථාව උදා වුවත්, රැක ගත හැකි මට්ටමේ ලකුණු සංඛ්‍යාවක් නොමැතිවීම ශ්‍රී ලංකාවේ පරාජය වළකාලීමට නොහැකි විය. අද පැවැති පුහුණු සැසිය අතරතුරදී පළමුු පන්දුවට පහර දීම සඳහා පැමිණියේ වනිඳු හසරංගය. පන්දු යැවීමට අමතරව පිතිකරුවකු ලෙස ඔහු සතු දක්ෂතාවයේ උපරිමය කණ්ඩායමට ලබා ගැනීමේ අටියෙන් ඔහු පිතිකරණ පුහුණුවේ නියැළියේ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් සහ පන්දු යැවීමේ උපායමාර්ගික පුහුණුකරු ලසිත් මාලිංගගේ ගුරුහරුකම් යටතේය. මෙහිදී වනිඳු වැඩි වශයෙන්ම උනන්දුවක් දක්වන ලද්දේ හයේ සීමාවට ඉහළින් පන්දුව එළියට යැවීම පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගැනීම වෙනුවෙනි. ආරම්භයේ සිටම පුහුණු සැසිය අවසන් වන තෙක්ම ලසිත් මාලිංගද වේග පන්දු යවන්නකු ලෙසින් පිතිකරුවන්ට පන්දු යැවීමද සුවිශේෂී සිදුවීමක් විය.

පන්දුවට පහර දෙන අවස්ථාවේදී ඉනිම තුළ නිලකුණු පන්දු වැඩි සංඛ්‍යාවක් සටහන්වීම දීර්ඝ කාලයක් මුලුල්ලේ ශ්‍රී ලංකා කණ්ඩායමට නිරාකරණය කරගත නොහැකි ගැටලුවක් බවට පත්ව තිබේ. එය පළමු තරගයේදී පන්දු 64 ක් ලෙසින්ද දෙවනි තරගයේ පන්දු 53 ක් ලෙසින්ද සටහන් වේ. කණ්ඩායමක් ලෙස ඉදිරියට යෑමේදී නිලකුණු පන්දු වාර්තාවීම අඩු මට්ටමක රඳවා තබා ගැනීම, කණ්ඩායමක් ලෙස ප්‍රගතියක් අත්කර ගැනීමට ඇති මූලික සුදුසුකමකි.

මේ පිළිබඳව කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසින් කටයුතු කරන නවීඩ් නවාස් සඳහන් කර සිටින්නේ මෙවැනි අදහසකි. “සාමාන්‍යයෙක් විස්සයි-20 තරගයක් ගත්තොත් පවර් ප්ලේ එකේදි පන්දුවට පහර දෙන පිතිකරුවන්ගේ ඩොට් බෝල් (නිලකුණු පන්දු) ප්‍රමාණය වැඩි වෙන්න පුලුවන්. අපි කල්පනා කරන්නේ කොහොමද ඒ අයගේ ඩොට් බෝල් ප්‍රතිශතකය වැඩි වෙද්දී ඒක හතරේ ඒවගේ ප්‍රතිශතයෙන් වැඩි කරගන්නේ කියලා. ඒ වගේම පවර් ප්ලේ එකෙන් පස්සේ පන්දවට පහර දෙන පිතිකරුවන්ගෙන් කොහොමද හිදැස් තියෙන තැන්වලට බෝලෙ ගහලා පිතිකරුවන් දෙදෙනා මාරු වෙන්නේ කියලා. අපේ සැලසුම වෙලා තියෙන්නේ හතරේ එකක් ගහන්න බැරි නම් අඩුම තරමේ හැම බෝලෙකටම එක ලකුණකට හරි පැති මාරු කරගන්න එක. මමත් දැකපු දෙයක් තමයි ඇතැම් අවස්ථාවන්වලදී අපේ පිතිරුවන්වන් එවැනි අපහසුතාවයකට පත් වෙනවා කියලා” යැයි ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරුවා ලෙසින්ද කටයුතු කරන නවාස් සඳහන් කර සිටියේය.

ඔස්ට්‍රේලියානු කඳවුර දෙස අවධානය යොමු කිරීමේදී හෙට තරගයටත් වේග පන්දු යවන මිචෙල් ස්ටාර්ක්ගේ සේවය ඔස්ට්‍රේලියානු පිලට අහිමිව තිබේ. ඔහු වෙනුවට කණ්ඩායමට පැමිණ සිටි ජායි රිචර්ඩ්ස් ස්ටාර්ක්ගේ වගකීම කිසිදු අඩුවක් නොකොට ඉටු කරමින් දෙවැනි තරගයේදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවේය. මේ අතර ග්ලෙන් මැක්ස්වෙල්ට හෙට තරගය ක්‍රීඩා කරන පල්ලකලේ ක්‍රීඩාංගණය විශේෂත්වයක් ගෙන දෙන්නක් වේ. ඒ අවසන් වතාවට ඔහු මෙහි පැමිණ ක්‍රීඩා කිරීමේදී අනුකම්පා විරහිත පිතිහරඹයක නියැළෙමින් පන්දු 65 කදී නොදැවී ලකුණු 145 ක් රැස් කිරීමට සමත්වීම වේ.

හයේ පහර 9 ක් සහ හතරේ පහර 14 කින් සමන්විත වුණු එම ඉනිම අදරටත් ලොව විස්සයි-20 තරග පිටියේ පිතිකරුවකු රැස් කරන ලද සිව්වැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වේ.

අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. ධනුෂ්ක ගුණතිලක, 3. චරිත් අසලංක, 4. කුසල් මෙන්ඩිස්, 5. භානුක රාජපක්ෂ, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. දුෂ්මන්ත චමීර, 10. මහීෂ් තීක්ෂණ, 11. නුවන් තුෂාර.

ඔස්ට්‍රේලියානු පිල – 1. එරන් ෆින්ච් (නායක), 2. ඩේවිඩ් වෝනර්, 3. මිචෙල් මාෂ්, 4. ග්ලෙන් මැක්ස්වෙල්, 5. ස්ටීව් ස්මිත්, 6. මාකස් ස්ටොයිනිස්, 7. මැතිව් වේඩ්, 8. ඇස්ටන් ආගර්, 9. ජායි රිචර්ඩ්ස්, 10. කේන් රිචඩ්සන්, 11. ජෝෂ් ‌හෙසල්වුඩ්

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest