slc
Home   |    News
සැප්තැම්බර් 3, 2022
ඇෆ්ගනිස්ථානයට එරෙහිව ‘වාඩුව’ ගත් ‘සිංහයෝ’ අවසන් මහ සටනට කිට්ටු කරති

sinhala editor

By Chamila Karawita

සුපිරි කණ්ඩායම් 4 වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සෙසු කණ්ඩායම් සියල්ලටම පෙර ආසියානු කුසලාන අවසන් මහ තරග වරම ආසන්නයට කිට්ටු කිරීමට අද (03 දා) රාත්‍රියේ සමත්වූවේය. ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සපුරා ගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි.

මෙම හඹා යෑම සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා යමින් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත්විය.

අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වුණු භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක, 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 15 කදී ලකුණු 32 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලට අත්‍යවශ්‍ය වූ ජයග්‍රහණයේ දොරටු විවර කළහ. මෙහිදී වනිඳු හසරංග සමඟ එක්වුණු භානුක පන්දු 11 කදී ලකුණු 23 ක් එක් කරමින් දෙපිළටම දෝලනය වුණු තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිල වෙත ළඟා කර දුන්හ.

මොවුන් තිදෙනාගෙන් භානුක සහ ධනුෂ්ක ජයග්‍රහණයට පෙර දැවී ගියද වනිඳු සහ චාමික එක්ව ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කරන ලද්දේ පන්දු 5 ක් ලකුණු පුවරුවේ ඉතිරි කර තබමිනි. සුපිරි කන්ඩායම් 4 අතර තරග වටයේ ඉහළින්ම ශ්‍රී ලංකා නාමය රඳවා තබන විට වනිදු හසරංග පන්දු 9 කදී ලකුණු 16 ක්ද චාමික පන්දු 2 කදී ලකුණු 05 ක්ද ලබා සිටියහ.

චාමික කරුණාරත්න එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වද්දී එය ඇෆ්ගනිස්තානයට එරෙහිව හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව මෙන්ම ලකුණු 170 කට වැඩිය රැස්කො තිබියදීය ඔවුන් පරාජයට පත්වූ පළමු අවස්ථාවේ ලෙසින්ද සටහන් විය.

බංග්ලාදේශයට එරෙහි තරගය මෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක, පන්දු 28 කදී ලකුණු 35 කින්ද, කුසල් මෙන්ඩිස් පන්දු 19 කදී ලකුණු 36 කින්ද ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළහ. පන්දු 39 කදී ගොඩනැංවුණු පළමු කඩුල්ලේ ලකුණු 62ක සම්බන්ධතාව ශ්‍රී ලංකා හඹා යෑමට ලබා දුන් දායකත්වය මිල කළ නොහැකි එකක් විය.

ඉනිම ආරම්භයේදීම මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ ලෝන් ඕන් කළාපයේ පන්දු රකිම්න් සිටි ධනුෂ්ක ගුණතිලක අතර ලබා දුන් උඩ පන්දුව රැක ගැනීමේදී ගුණතිලකගේ සපත්තුව හතරේ සීමාවේ නොගෑවෙන්නට ගුර්බාස්ගේ ඉනිම ලකුණු 08 කදී නිමවන්නට තිබිණ. පිටියේ විනිසුරුගේ අදහස වූයේද එය දැවී යෑමක් වුවත්, තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමේදී ගුණතිලකගේ කකුල පෑහදිළිවම හතරේ සීමාවේ ගැටෙන බව පෙනී ගියේය. එම වරමින් තවදුරටත් පිටියේ රැඳී සිටීමට ගුර්බාස්ට වාසනාව හිමි වුණා පමණක් නොව එම පහර ලකුණු 6 ක් බවටද පරිවර්ථනය විය.

ලොතරැයි වාසනාවක් බඳු එම වාසිද සමග හස්රතුල්ලා සසායි සමග එක්වූ ගුර්බාස් පළමු කඩුල්ල සදහා පන්දු 29 කදී ලකුණු 46 ක් පැවැත්වීය. මෙම වේගවත් සම්බන්ධතාව ප්‍රධාන කොට පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 49 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට ඇෆ්ගනිස්තානයට හැකිවිය.

දුන් අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන නොගැනීමේ ප්‍රතිවිපාකය මෙය යැයි කියා දුන් ගුර්බාස්ගේ වේගවත් පිතිහරඹය නවතාලීමට ශ්‍රී ලංකා නායකයා නොයෙක් උපක්‍රම යෙදුවද එ් සියල්ල ව්‍යර්ථ විය. පන්දු 22 කදී සිය 5 වැනි විස්සයි-20 අර්ධ ශතකය සම්පූර්ණ කළ දකුණත් පිතිකරුවා අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ වනිඳු හසරංග වෙත උඩ පන්දුවක් දී දැවී යන විට පන්දු 45 කදී ලකුණු 84 ක් ලබා සිටියේය. එයට හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වි තිබිණ. එම දැවී යෑමත් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැංවුණු සම්බන්ධතාව ලකුණු 93 දී නිමාවට පත්විය. ගුර්බාස්ගේ දැවී යෑමත් සමඟ ඇෆ්ගනස්තාන ලකුණු ලබා ගැනීමේ වේගයද නොසිතූ ලෙස පහළ වැටිණ. ගුර්බාස්ගේ දැවී යෑමෙන් පසු යොමු කරන ලද පන්දු 27 දී සෙසු පිතිකරුවෝ රැස් කර ගැනීමට සමත්වූයේ ලකුණු 36 ක් පමණි.

සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ඉන්දියාවට එරෙහිව ලබන 06 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 7.30 ට ආරම්භ වේ.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest