slc
logo
Home   |    News
ඔක්තෝබර් 19, 2022
නෙදර්ලන්තයට එරෙහි හෙට සටන ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

sinhala editor

By Chamila Karawita

හෙට ශ්‍රී ලංකාවට තීරණාත්මක දිනයකි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට කරදරයක් නොමැතිව සුදුසුකම් ලැබීමට නම් නෙදර්ලන්තයට එරෙහිව හෙට (20 දා) ජීලොංග් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි-20 තරගය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතුය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් නැමීබියාවට ‌එරෙහිව පැවැති තරගයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබීම නිසා ශ්‍රී ලංකාවට ඉහත  තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබේ. නැමීබියාව හමුවේ ලකුණු 55 ක පරාජයක් ලැබීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය සෘණ 2.75 ක් දක්වා පහතට ගිය නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව ලද 79 ක විශිෂ්ඨ ජයග්‍රහණය නිසා යළිත් ධන 0.6 ක ශුද්ධ වේගයක් දක්වා ඉදිරියට පැමිණ සිටියි.

ගැටලුවට පවතින්නේ වාර්තා කරගෙන සිටින ජයග්‍රහණය සංඛ්‍යාව මත හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව නෙදර්ලන්තයට වඩා අඩු අගයක් ශ්‍රී ලංකාවට හිමිව තිබීමය. ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරගය ජයගතහොත් නිසැකයෙන්ම අවසන් කණ්ඩායම් 12 අතර තරග වටයට පිවිසීමේ අවස්ථාව හිමිවේ.

මේ වන විට සහභාගිවුණු තරග 2 ම ජය ගැනීමට නෙදර්ලන්ත පිල සමත් වුවත් කඩඉම් වටයේ පවතින තරගකාරීත්වය හේතුවෙන් ඔවුන්ද සිටින්නේ අවධානම් කළාපයේය. කාණ්ඩයේ සෙසු තරගකරුවන් වන ශ්‍රී ලංකාව සහ නැමීබියාවට වඩා අඩු ශුද්ද දලවේගයක්  (0.149) ඔවුන් සතූවීම, එම අවධානමට හේතුව තිබේ. ජයග්‍රහණ 2 ක් සමඟ ප්‍රසාද ලකුණු 4 ක් ලබා සිටින නෙදර්ලන්ත පිල හෙට තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වුවහොත්, තරගාවලියේ ඉදිරියට යෑමට නම් ඔවුනට හෙට රාත්‍රියේ පැවැත්වීමට නියමිත තරගයෙන්  එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලහමුවේ නැමීබියානු පිල පරාජයට පත්වන තෙක් බලා සිටිය යුතුය. යම් ලෙසකින් එම තරගයෙන් නැමීබියානු පිල ජය ගැනීමට සමත් වුවහොත් කණ්ඩායම් 3 ම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයකට පැමිණෙන බැවින් ඉදිරියට යන කණ්ඩායම් දෙක ශුද්ධ දළ ලකුණු වේගය මත තීරණය වනු ඇත.

අවසන් මහ තරගයට පිවිසීමේ තත්ත්වය එවන් තලයක පවතිද්දී ශ්‍රී ලංකාව හෙට තරගයේ මුහුණ දෙනු ලබන පරතලම තත්ත්වය වන්නේ වේග පන්දු යවන දුෂ්මන්ත චමීරට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරී තිබීමය. එක්සත් අරාබි එමීර් පිලට එරෙහි තරගයේදී ලකුණු 15 ක් ඇතුලත කඩුලු 3 ක් දවා ගනිමින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ නමුත් ඔහුගේ පන්දුවාර 4 න් අවසන් කිරීමට මත්නේ පිටියෙන් ඉවත්ව ගියේය. වළලුකර ආසන්නයේ ඇතිවූ ආබාධිත තත්ත්වයක් මත ඔහු පිටියෙන් ගියේ නියමිත පන්දුවාර 4 න් එක් පන්දුවක් යැවීමට ඉතිරිව තිබියදීය.

“මම හිතන්නේ අපි හිතුවට වැඩිය දුෂ්මන්තගේ තත්ත්වය වෙනස්. ආබාධය සුව වීමට ඔහුට ටික දවසක් ඉන්න වෙයි” යැයි සිය ප්‍රධානතම ‌පන්දු යැවීමේ අවිය අහිමිවිවීම සම්බන්ධව අද (19 දා) පැවැති මාධ්‍ය හමුවේදී දසුන් ශානක අදහස් දක්වා සිටියේය.

“දුෂ්මන්තයි ධනුෂ්කයි දෙන්නම උදේ එම්.ආර්.අයි ස්කෑන් එකකට ගියා. ඒ රිපෝර්ට් එනකම් අපිට කිසි දෙයක් කියන්න බෑ” යැයි හෙට තරගයට පෙර කණ්ඩායමේ ආබාධිත ක්‍රීඩකයින් පිළිබඳව සඳහන් කර සිටියේය.

“මම හිතන්නේ ළහිරු කුමාරත් අපිත් එක්ක ඉන්නනවා. ඒ වගේම බිනුර ප්‍රනාන්දුත් ඇවිල්ලා ඉන්නවා. ඒ දෙන්නා තමයි අපිත් එක්ක මේ අවස්ථාවේ ඉන්නේ. හෙට තරගයට ක්‍රීඩා කිරීම සඳහා ඔවුන් දෙදෙනාට වැඩි ඉඩ කඩක් තියෙනවා” යැයි දසුන් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම යනු මෙවන් තත්ත්වයන් හිදී පහසුවෙන් පසුබසින කණ්ඩායමක් නොවේ. ඊට හොඳම උදාහරණ සපයනු ලබන්නේ නිමාවට පත්වුණු ආසියානු කුසලාන තරගාවලියයි. එහෙත් දසුන්ගේ අදහස වන්නේ එම ජයග්‍රහණය අතීතයට එක්ව ඇත්තක් බවයි.

“ඔව්. මම හිතන්නේ ආසියානු කුසලාන තරගාවලිය දැන් ඉතිහාසයට එක්ව තියෙන එකක්. එය අපි දිනාගත් තවත් එක් කුසලානක් විතරයි. ඒ නිසා අපිට මේ තරගයෙදි කිසිම පීඩනයක් නෑ. අපිට අවශ්‍ය වන්නේ අපේ දස්කම් පිළිබඳව විශ්වාසය තියමින් මේ තරගය ජයග්‍රහණය කරලා දෙවැනි වටයට පිවිසෙන්නේ කොහොමද කියලා” යැයිද ශ්‍රී ලංකා විස්සයි-20 නායකයා සඳහන් කර සිටියේය.

“අපි තරගාවලියට එද්දිත් හෙෲද මානසිකත්වයක හිටියා. අනපේක්ෂිත විදියට අපි නැමීබියා තරගයට පරාජයට පත් වුණා. අපි දන්නවා අපේ කණ්ඩායම කොච්චර හොඳ කණ්ඩායමක්ද කියලා.අපිට ‌ොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා” යැයි සඳහන් කරන දසුන්, “තරග කරන දිනයට අවශ්‍යව දස්කම් දක්වන ක්‍රීඩක සංකලනයක් අපිත් එක්ක ඉන්නවා. අරාබි පිලට එරෙහි තරගයේ ජය වැදගත් වුණා. ඒ වගේම හෙට තරගයත් හොඳින් ක්‍රීඩා කරලා ඊළඟ වටයට යන එකට හොඳ මානසිකත්වයකින් අපි ඉන්නවා” යැයි දසුන් කියයි.

නෙදර්ලන්තයට එරෙහි තරගය පිළිබඳව දසුන් මෙසේ සදහන් කර සිටියේය. “මේ තරගාවලියට එනකොට හරිම දේ අපි දැන ගෙන හිටියා. ප්‍රසිද්ධ රටවල් සමඟ ක්‍රීඩා කරනවාට වඩා මේ වගේ රටවල් එක්ක ක්‍රීඩා කරන කොට ගොඩක් වෙනස් ලෙස ක්‍රීඩා කරන්න සිදුවෙන්නේ අපි මොවුන්ගේ දක්ෂතාවන් පිළිබඳව නිවැරදිම අවබෝධයක් නැති නිසා. සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටක් සමඟ ක්‍රීඩා කරද්දී අපි ඔවුන්ගේ පන්දු යවන්නන් මෙන්ම සංයුතිය ගැන හොද අවබෝධයක් තියෙනවා. ඒක මේ ආකාරයේ රටවල ක්‍රීඩා කරන විට ඔවුන්ටත් හිමි වාසියක්” යනුවෙනි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee