slc
Home   |    News
ඔක්තෝබර් 24, 2022
ශ්‍රී ලංකාවේ ලොකුම අභියෝගය

sinhala editor

By Chamila Karawita

පන්දුවාර විස්සයි-20 තරග පිටියේ වර්තමාන ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමත් මීට දින කීපයකට ඉහතදී ආසියානු ශූරයින් බවට පත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමත් සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය යටතේ හෙට (25 දා) මුණ ගැසෙනු ඇත. කණ්ඩායම් 12 තරග වටයේ ශ්‍රී ලංකාවේ ලොකුම අභියෝගය බවට පත්ව තිබෙන ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් ප.ව. 4.30 ට ආරම්භ වනු ඇත.

සත්කාරක කණ්ඩායම වුවත් කණ්ඩායම් 12 අතර තරග වට‌ය යටතේ තවමත් ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ඔස්ට්‍රේලියාව අසමත්ව තිබෙන නමුත්, එම තරග වටය ආරම්භ කරමින් අයර්ලන්ත පිලට එරෙහිව පැවැති තරගය ලකුණු 89 කින් ජය ගෙන සිටින ශ්‍රී ලංකාව හෙට දිනයේදී ජයග්‍රාහී මානසිකත්වයකින් යුතිව ඔස්ට්‍රේලියානුවන් මුණ ගැසෙනු ඇත.

පිතිකරුවන්ට වැඩි දායකත්වයක් දක්වනු ඇතැයි සඳහන් පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගණයේදී පන්දුවේ ඉපිලීමද යහමින් දැක ගත හැකි තණතීරුවකි. ක්‍රීඩාංගණයේදී මෙතෙක් පවත්වා ඇති තරග අතුරින් ජයග්‍රාහී සාමාන්‍ය 162 ක් වශයෙන් මෙහි සටහන් වේ.

නවසීලන්තය හමුවේ ලද අනුවේදනීය පරාජය නිසා ඔස්ට්‍රෙලියානු පිල හෙට තරගයට පිවිසෙන්නේ ජයග්‍රහණයකින් තරගය අවසන් කිරීමට පමණක් නොව, ශූද්ධ ලකුණු වේගයද ඉදිරියට රැගෙන ඒමේ ස්ථීර අධිෂ්ඨානයෙන් යුක්තවය. නවසීලන්තය හමුවේ ඔස්ට්‍රෙලියානු පිතිකරුවන් ලද අනපේක්ෂිත දුර්වලතාව නිසා ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය පවතින්නේ සෘණ අගයකි. -4.450 ක් ලෙසින් සටහන්වන ඔස්ට්‍රේයානු ශුද්ධ ලකුණු වේගය නිසා ඔවුන් තරග වදින පළමු කාණ්ඩයේ අවසන් ස්ථානයේ රැදී සිටින්නේය. ඔවුන්ට ඇති එකම සැනසීම වන්නේ මැද පෙළ පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් පමණක් ලකුණු අතරට පැමිණීමට සමත්ව සිටීම පමණි.  

පිතිකරණයට අමතරව පන්දු යැවීමද ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු පිලේ එතරම් සාර්ථකත්වයක් නොදැක්වීය. එම අසාර්ථක පන්දු යැවීම නිසා මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් 12 අතර තරගාවලියේ සමාරම්භක තරගයේදී ලකුණු 200 ක් රැස් කර ගැනීමට නවසීලන්ත පිතිකරුවෝ සමත්වූහ.

මේ අතර ශ්‍රී ලංකා කඳවුර දෙස අවධානය යොමු කිරීමේදී දසුන් ශානක ඇතුළු නඩය ඉතා හොද විශ්වාසයකින් යුතුව හෙට තරගයට අවතීර්ණ වෙති. ජයග්‍රාහී රිද්මය හරහා කණ්ඩායම තුළ ගොඩනැවී තිබෙන විශ්වාසය ඊට ප්‍රධාන හේතු කාරක සපයන්නේය. ආබාධයට ලක්වීම නිසා අයර්ලන්තයට එරෙහි තරගයට ක්‍රීඩා කිරීම අහිමි වුනු පැතුම් නිස්සංක ද හෙට තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටීම ශ්‍රී ලංකා පිලට මහත් අස්වැසිල්ලකි.

“මම හිතන විදියට එයා (පැතුම්) හෙට තරගය සදහා හොඳ සූදානමකින් සිටිනවා. බොහෝ විට ඔහු හෙට තරගයට ක්‍රීඩා කරාවි” යැයි තරගය පිළිබඳව අද (24 දා) පැවැති මාධ්‍ය හමුවේදී මහීෂ් තීක්ෂණ සඳහන් කර සිටියේය.

අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභලම තුරුම්පුව බවට පත්වූයේ දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතාය. එම තරගයේ දැවී ගිය කඩුලු 8 න් 5 ක්ම දවා ගන්නා ලද්දේ දඟ පන්දු යවන්නන් වූ වනිඳු හසරංග (2), මහීෂ් තීක්ෂණ (2) සහ ධනංජය ද සිල්වා (1) ය.

හෙට තරගය පැවැත්වෙන ඔප්ටස් ක්‍රීඩාංගණය අලුතින් ඉදිකරන ලද ක්‍රීඩාංගණයකි. ක්‍රීඩාංගණයකට එතරම් අතීතයක් නැතත් පවත්වා ඇති තරග වලදී එය වැඩි වශයෙන් වේග පන්දු යවන්නන් වෙනුවෙන් දායකත්වයක් ලබා දී තිබීම නිසා හෙට තරගයේදී ශ්‍රී ලංකාව පෙර තරගයට සාපේක්ෂව වෙනස්ම සැලසුමක් අනුගමනය කිරීම යෝග්‍ය වේ. මේ සඳහා වන ආසන්නතම උදාහරණය ‌ලෙස සුපිරි කණ්ඩායම් 12 අතර තරග වට‌ය යටතේ ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය අතර තරගය ගත හැක. එම තරගයේදී ඇෆේගනිස්තානුවන් රැස් කර ගැනීමට සමත් වූයේ ලකුණු 112 ක් වන අතර ඔවුන් එංගලන්ත පිතිකරුවන් මට්ටු කිරීම, වැඩිමනක්ම දඟ පන්දු යවන්නන්ගේ මත කැපී පෙනුණි. එහෙත් එහි බලාපොරොත්තු වූ තරම් වාසියක් ඇෆ්ගනිස්තානුවන්ට ලබාගත නොහැකිවිය. එම තරගයේදී රශීඩ් ඛාන් ඇතුළු දඟ පන්දු යවන්නන් පන්දුවාර 11 ක් ක්‍රියාත්මක කළද 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී එංගලන්තය ජයග්‍රහණය සනිටුහන් කළේ කඩුලු 5 ක් පමණක් ලබා දෙමිනි.

ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රධාම අවධානය යොමු වන ක්‍රීඩකයා ලෙසින් වනිදු හසරංග නිතැතින්ම පත් වේ. ගියවර පැවැති ලෝක කුසලාන තරගාවලිය මෙන්ම මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට සමත්ව සිටින්නේද වනිඳු හසරංග වේ. ඔහු තරග 4 කදී කඩුලු 9 ක් බිඳ හෙළා සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 9.78 ක් රදවා තබා ගනිමිනි.

“ඇත්තටම සරළ සැලසුම්ක තියෙනවා. අපි නිරතම උත්සාහ කරන්නේ අපේ පන්දුවාර 4 දී ලකුණු 24 කට කඩුවෙන් තියාගෙන පන්දු යවන්න. අන්න ඒ නිසා තමයි අපිට ගොඩක් වටිනා කඩුලු දවා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එය අපි ඉනිමේ මැද මෙන්ම අග හරියෙදිත් හොදට කරනවා” යැයි වනිඳු හසරංග සමඟ පන්දු යැවීමේදී භාවිතා කරන සැලසුම පිළිබඳව විමසීමේදී තීක්ෂණ අදහස් දක්වා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බල ඇණිය පිළිබඳව අදහස් දක්වා සිටින ප්‍රතිවාදී පිලේ තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් සඳහන් කර සිටින්නේ මෙවැනිනකි. “ඇත්තටම ඔහු ඉතාම හොද  පන්දු යවන්නෙක් නිසා ඔහුට එරෙහිව අපි හොද ප්‍රතික්‍රියාවක් දැක්විය යුතුයි” යැයි ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙම වසරේදී වනිදු ක්‍රීඩා කරන ලද විස්සයි-20 තරග 5 දී කඩුලු 10 ක් දවා ගැනීමට සමත්ව සිටින වනිඳු හසරංග පිළිබඳව මාෂ් සඳහන් කර තිබේ.

“පර්ත් තණතීරුවේදී දඟ පන්දුව එතරම් ලොකු බලපෑමක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා අපිට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට හොඳ අභියෝගයක් ලබා දෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු තණතීරුවලදී දඟ පන්දු යවන්නන්ට අපි හොඳින් පන්දුවට පහර දෙන නිසා” යැයි තමා ඇතුළු කණ්ඩායම හමුවේ ඇති අභියෝගය ගැන වැඩිදුරටත් අදහස් දැක්වීය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest