slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2022
අපේ උපරිමය යොදවනවා – නවීඩ් නවාස්

sinhala editor

By Chamila Karawita

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවධානමකින් තොරව තවදුරටත් රැඳී සිටීමට නම් නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දඟ  පන්දු යවන්නන්ට වාසි දායක සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (29 වැනිදා) සහභාගිවේ.

ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට ආරම්භ වීමට නියමිත මෙම තරගය සදහා නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ සිටත් ශ්‍රී ලංකා පිල පස්වැනි ස්ථානයේ රැදී සිටිමින් අවතීර්ණ වෙති. ඒ අනුව හෙට දිනයේ ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ අංක 1 ට පැමිණීමේ අවස්ථාව උදාවේ.

මෙවර තරගාවලියේ කඩඉම් තරගාවලියේ පැවැති තරග 3 හැරුණු කොට ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට ලැබුණු තරග 2 ම එකිනෙකට වෙනස් තත්ත්වයන් යටතේ පවතින ක්‍රීඩාංගණයන් වූ හෝබාර්ට් සහ පර්ත් යන ක්‍රීඩාංගණවලදී පැවැත්විණ. එකිනෙකට වෙනස් තත්ත්වයන් යටතේ පැවැති එම තරග දෙකට වඩා හෙට තරගය පැවැත්වෙන සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වඩා වාසිදායක වනු ඇතැයි අපේක්ෂා කරනුයේ කාලාන්තරයක් තිස්සේම තණතීරුවේ සහාය දඟ පන්දු යවන්නන්ට වාසි දායක වන අයුරින් හැසිරීම හේතුවෙනි.

දිවා/රාත්‍රී තරගයක් ලෙසින් හෙට තරගය පැවැත්වීම නිසා මෙහි කාසියේ වාසිය තීර‌ණාත්මක සාධකයක් නොවන බව ක්‍රීඩාංගණයේ අතීත වාර්තා පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙනී යනු ඇත. මෙම ක්‍රීඩාංගණයේ පවත්වා ඇති විස්සයි-20 තරග 12 න් 6 ක්ම මුලින් පන්දුවට පහර දී ඇති කණ්ඩායම් ජය ගෙන තිබෙන අතර තරග 5 ක් හඹා යමින් ජය ගෙන තිබේ. ඒ අතර එතරම්ම පරස්පරතාවක් නොමැතිවීම නිසා කාසියේ වාසියට එතරම්ම තීරණාත්මක නොවනු ඇත.

ශ්‍රී ලාංකාවේ ක්‍රීඩාංගණවල මෙන් නොව ඔස්ට්‍රේලියානු ක්‍රීඩාංගණවල හතරේ සීමාව එක් එක් පසින් වෙනස් වේ. එහි ඇතැම් පෙදෙසක් පිතිකරුවාට ළංව පිහිටා තිබෙද්දී තවත් පෙදෙසක හතරේ සීමාව වඩාත් ඈතින් එළා තිබේ. මේ අනුව වැදගත්ම කරුණ වන්නේ තණතීරුවේ හැසිරීමට අමතරව ක්‍රීඩාංගණයේ ‌එළා ඇති හතරේ සීමාවේ දිග – පළල පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව පන්දුවට පහර දීම වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා පිතිකරුවන් සැලකිලිමත් වුවහොත් පෙර තරග වලදී සිදුවූ අතපසුවීම් මඟහරවා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටින ප්‍රධානම ගැටලුව බවට පත්ව ඇත්තේ කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් 6 දෙනෙකුම ආබාධයන් වලට ගොදුරුව සිටීමයි. මූලික සංචිතයට ඇතුළත් වුණු ක්‍රීඩකයින් කීප දෙනෙකුම ආබාධ ලැයිස්තුවට වැටීම නිසා වෙනමම පිරිසක් කණ්ඩායමට ඇතුළත් කිරීමට කෙලමනාකාරීත්වයට සිදුව තිබේ. ප්‍රමෝද් මදුශාන් පූර්ණ සුවය ලබා ඇත්නම් වඩාත්ම උචිත කරුණ වන්නේ බිනුර ප්‍රනාන්දුගේ ස්ථානය සඳහා ඔහුව ආදේශ කිරීම වේ.

කෙසේ වෙතත් නවසීලන්ත පිතිකරුවන් යනු වමත් දඟ පන්දු යවන්නන් හමුවේ මුහුණ දීමේදී දුර්වලතාවක් පෙන්නුම් කරන කණ්ඩායමක් බැවින් හෙට දිනයේදී ශ්‍රී ලංකාව වමත් දඟ පන්දු යවන්නා වන ප්‍රවීන් ජයවික්‍රම සමඟ අවතීර්ණ වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ.

වැඩි බලාපොරොත්තු තැබූ වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක මේනම බිනුර ප්‍රනාන්දුද ආබාධ නිසා කණ්ඩායමෙන් ඉවත්වී තිබෙන පසුබිමක ශ්‍රී ලංකාව ඒ පිළිබඳව ද සිතා බලමින් සිටින බව අද (28 දා) පැවැති මාධ්‍ය හමුවේදී සහාය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කර සිටියේය.

“හොඳයි. අපි තණතීරුව දිහා බැලීමෙන් පසු ඒ ගැන සිතා බලනවා” යැයි නවාස් සඳහන් කර සිටියේය.

“පන්දු යවන්නන්ට ගොඩක් සහයෝගය තිබුණු තණතීරුවලදී අපේ පිතිකරුවන් ඉතා හොඳින් පන්දුවට පහර දුන්නා. නමුත් අපි ලකුණු 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් අරගන්න තිබුණා. අඩුම ගාණේ 165 ක් 170 ක්වත් ලකුණු පුවරුවට දාගන්න තිබුණා”.

“පසුගිය තරග වල අපි පන්දුවට පහර දුන් ආකාරය අනුව අවසන් ඔ්වර 6 දී විතර ලකුණු 60 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත්තත් කඩුලු 4 ක් අහිමිවුණා. එ‌ය එහෙම නොවුණා නම් අපිට ලකුණු 170 සීමාවට යන්න තිබුණා කියලා විශ්වාස කරනවා. එය පසුගිය තරග වලින් අප ඉගෙන ගෙන තියෙන පාඩමක්” යැයි පෙර තරග වලදී කණ්ඩායම් උගත් පාඩම් පිළිබදව සහාය පුහුණුකරුවා සඳහන් කර සිටියේය.

“කළින් තරග වලදී අපේ පන්දු යැවීම ඉතා හොද තැනක තිබුණා. පන්දුවට පහර දීම ගැනත් හිතුවොත් අපි ඉන්න ඔ්න තැන එතනයි. හෙට ප්‍රතිවාදීන් ගැන කතා කොළත් පැහැදිළිවම ඔවුන් ලෝකයේ ඉහළම ක්‍රිකට් ක්‍රීඩා කරමින් ඉන්නවා. ඔවුන්ව අපි කීයටත් සුළුවෙන් තකන්නේ නෑ. අපි දන්නවා ‌ලෝක කුසලාන තරගාවලියට එද්දේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වගේම ඇෆ්ගනිස්තානය ඉන්න කාණ්ඩය අපිට ලේසියෙන් තරග කරන්න බෑ කියලා. ඒ නිසා අපි ඒ සදහා හොඳ සූදානමකින් සිටිනවා. එතැනදි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට නම් අප කළ යුතු දේ අපි හරියටම කරන්න ඔ්න බව දන්නවා” යැයි හෙට දිනයේ හමුවන ප්‍රතිවාදීන් පිළිබඳව නවාස් සදහන් කරයි.

“අපි හෙට තරගයට හොඳින් සූදානම්ව ඉන්නවා. අපි ඒ තරගයේදී අපේ උපරිමයෙන් ක්‍රීඩා කරන්න උත්සාහ කරනවා වගේම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකි සෑම උත්සාහයක්ම අපි ලබා දෙනවා” යැයි පවසන නවාස්, “හෙට අපිට ලැබෙන තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය සහ හතරේ සීමාවට ආසන්න පෙදෙසේ පන්දුව වේගයෙන් ගලා යන්නේ නම් එය පැහැදිළිවම ලකුණු ලබා ගැනීම සඳහා ඉඩ කඩ තිබෙනවා. එහෙම වුණොත් අපි එම තරගයට වෙනස්ම සැලැස්මක් සමඟ අවතීර්ණ විය යුතුයි” යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන පැතුම් නිස්සංකට හෙට දිනයේදී ලකුණු 62 කට වඩා රැස් කර ගැනීමට සමත් වුවහොත් විස්සයි-20 තරග වලදී ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය 10 වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමේ අවස්ථාව උදාවනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee