slc
logo
Home   |    News
නොවැම්බර් 24, 2022
ඇෆ්ගනිස්තානයට එරෙහි සටනේදී චන්දිමාල්ට උසස්වීමක්

sinhala editor

Chamila Karawita reporting from Pallekele

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමාවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තවත් අභියෝගයකි. ඒ ලබන වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමයි. කණ්ඩායම් 8 කට පමණක් සෘජුවම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බැවින් ඇෆ්ගනිස්තානයට ‌එරෙහිව සිකුරාදා (25 වැනිදා) පල්ලකැලේදී ආරම්භ වන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක එකකි.

මෑතකදී ටෙස්ට් වරම් ලද රටක් බවට ඇෆ්ගනිස්තාන පිල පත් වුවද තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ සෑම තරගයක්ම ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට, ඉහත කී ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීම සදහා වඩාත් වැදගත් වන්නේය.

අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ සුපර් ලීග් තරග වටයට යටත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල තරග 18 කට ක්‍රීඩා කර ඇතත් ඉන් ජයගෙන සිටින්නේ තරග 6 ක් පමණි. තරග 11 ක් පරාජයට පත්වද්දී එම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 10 වැනි ස්ථානයේ වේ. ඉතින් සදහන් කළාක් මෙන් සෘජුවම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගාවලිය 3-0 ක් ලෙසින් ජය ගැනීම සත්කාරකයින්ට වඩාත් වැදගත් වනු ඇත.

ප්‍රතිවාදී ඇෆ්ගනිස්තානය මෙම තරගාවලියට පිවිසෙන්නේ තරග 12 කදී ජයග්‍රහණ 10 ක් වාර්තා කර ගනිමිනි. එබැවින් ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා ප්‍රසාද ලකුණු 38 ක් ඉදිරියෙන් සිටිමිනි.

ඉකුත් අඟහරුවාදා දින ශ්‍රී ලංකාවට ගොඩ බැසි ඇෆ්ගනිස්තානුවන් ඊයේ (23 වැනිදා) දිනයේදීත් අද (24 දා) දිනයේදීත් පල්ලකැලේ ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම්වල නිරත විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම සාමාජිකයින් 23 වැනිදා රාත්‍රියේ විදුලි ආලෝක ධාරා මධ්‍යයේ සිය පුහුණුවීම් වල නිරත වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනය පුහුණුවීම් අනිවාර්ය නොවන නමුත් ක්‍රීඩකයින් කිහිප දනෛකුම සහාය කාර්යය මණ්ඩලය සමඟ පැමිණ පුහුණුවීම් වල නිරත වීම කැපී පෙනුණි. ඒ අතර නායක දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂාන් ධනංජය පසුවිය.

“අද ක්‍රීඩා කරන කණ්ඩායම් ගත්තොතින් කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්න බැහැ. මොකද 2022 වසර වෙද්දී විස්සයි-20 තරගාවලි මුලු ලෝකයේම තියෙනවා. හැම කණ්ඩායමකම ක්‍රීඩකයෝ ඉන්නවා ලෝකෙ වටේ ගිහිං අත්දැකීම් අරගන්න. ඒ වගේම ඇෆ්ගනිස්තානු පිලෙත් අද වෙද්දී හොඳ තැනක ඉන්නවා. මං හිතන්නේ අපිටත් ඔවුන් සමග ක්‍රීඩා කරද්දී අභියෝගයක් තියෙනවා. ඉතිං අපි දන්නවා ප්‍රතිවාදීන් කවුද කියලා. මොකද අපි වර්ල්ඩ් කප් එකේදීත් ආසියානු කුසලාන තරගාවලියේදීත් අපි ඔවුන් සමග ක්‍රීඩා කළා. නමුත් ඒ විස්සයි-20 තරග කොහොම වුණත් මං හිතන්නේ අපිට සැලසුම් තියෙනවා ඔවුන්ව අසීරුතාාවයේ දමා ගන්න” යැයි හෙටින් ඇරඹෙන තරගාවලියේදී ප්‍රතිවාදී ඇෆ්ගනිස්තානු කණ්ඩායම පිළිබඳව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කර සිටියේය.

මෙම තරාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණුවීම් ආරම්භ කරන ලද්දේ මීට සති එකහමාරකට පමණ කාලක සිටය. කොළඹදී සිදුකරන ලද එම පුහුණුවීම්වලින් අනතුරුව ශ්‍රී ලංකා පිල ඉකුත් සඳුදා දිනයේදී මහනුවරට පැමිණියේය.

“ක්‍රීඩකයින් සියල්ලම ඔවුන්ගේ රිද්මයට ඇවිල්ලා තියෙනවා. පිතිකරණය, පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමෙනුත් හොඳ තරගයක් ලබා දීමට කණ්ඩායම සූදානමින් සිටිනවා” යැයි දසුන් සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් ජුනි මාසයෙන් පසු එක්දින තරග අංශයට ක්‍රීඩා කර නොමැති අතර දිගින් දිගටම පන්දුවාර විස්සයි-20 තරග වල නියැළිණ. විස්සයි-20 තරග අංශයට වඩා වැඩි වේලාවක් පැවැත්වෙන එක්දින තරග අංශයට අදාළ රිද්මය ගොඩ නඟා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම අවධානය යොමුවී තිබෙන කරුණ බවට පත්ව තිබේ. වෘත්තීමය ක්‍රීඩකයින් වශයෙන් එම තත්ත්වයන්ට හුරුවීම මෙම මට්ටමේ ක්‍රීඩකයින්ට එතරම් අපහසුවක් නොවේ.

කෙසේ වෙතත් හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් අතර වෙනසක් බොහෝ විට අපේක්ෂා කළ හැක. එහිදී පැතුම් නිස්සංක සමඟින් ඉනිම ආරම්භය හෝ අංක 3 පිතිකරණ ස්ථානයෙන් චන්දිමාල් ක්‍රීඩා කළහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. චන්දිමාල් අවසන් වරට ක්‍රීඩා කරන ලද්දේ අංක 4, 5 හෝ 6 යන ස්ථාන වලය.

විස්සයි-20 තරග අංශයේදී පැතුම් සමඟින් කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කළද, එක්දින තරග අංශය වෙත අවධාන‌ය යොමු කිරීමේදී කුසල් හොදින්ම පන්දුවට පහර දී ඇත්තේ අංක 3 සහ 4 පිතිකරණ ස්ථානයන්හිය. මේ සියල්ල අරමුණු කර ගනිමින් ඉකුත් 23 වැනිදා රාත්‍රි‌යේ පැවැති පුහුණු සැසියේදී දිනේෂ් චන්දිමාල් නව පන්දුවෙන් පන්දුවට පහර දීම සඳහා හොඳ සූදානමක් ලබා ගත් අයුරු දැක ගත හැකි විය.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අතරට ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියට ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක ලක්ෂාන් ධනංජය ඇතුළත්ව සිටියි. ධනුෂ්ක ගුණතිලක සහ චාමික කරුණාරත්නගේ ස්ථානය සඳහා මොවුන් කණ්ඩායමට එක්ව සිටිති. කෙසේ වෙතත් ප්‍රකාශයට පත් කරන ලද කණ්ඩායමට භානුක රාජපක්ෂව ඇතුළත් කර තිබුණද එක්දින තරග අංශයෙන් විවේක ගැනීමට ඔහු අපේක්ෂා කර ඇති බැවින් ඔහුව සංචිතයෙන් මුදා හැරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අදහස වී ඇත්තේ වේග පන්දු යවන්නන්ට තරමක සහායක් ලබා දෙන පල්ලකැලේ තණතීරුවේදී වේග පන්දු යවන්නන් දෙදෙනකුට අමතරව තවත් තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනකු ද සමඟින් අවතීර්ණ වීමයි. වේග පන්දු යවන්නන් අතර ළහිරු කුමාර එහි මූලිකත්වය ගනු ලබන අතර කසුන් රාජිත ඔහුගේ සහායකයා වීමේ බොහෝ දුරට ඉඩ කඩ තිබේ. සුපුරුදු පරිදි වනිඳු හසරංග දඟ පන්දු අංශයේ මූලිකත්වය ගනු ලබන අතර ඔහුගේ සහායට මහීෂ් තීක්ෂණත් දුනිත් වෙල්ලාලගේත් ක්‍රීඩා කරනු ඇත.

“ඇත්තටම අපි කණ්ඩායමක් විදියට දිගටම ක්‍රීඩා කරපු සංයුතියක් තියෙනවා. විශේෂයෙන් පල්ලකැලේ ක්‍රීඩාංගණය ගත්තොත් දවල්ට පිතිකරණයට ගොඩක් හොදයි. විදුලි ආලෝකය ආපුවම තමයි පන්දුව දෝලනය වෙන්න වැඩි අවස්ථාවක් තියෙන්නේ. ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙන්නෙයි තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙන්නයි සංචිතයේ ඉන්නවා. ඒ සංකලනය ‌යොදාගෙන ඒ ආකාරයෙන් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි පවසන ශ්‍රී ලංකා නායකයා රශීඩ් ඛාන් පිළිබඳවද වැඩි අවධානයක් යොමු කර තිබෙන බවද සඳහන් කර සිටියේය.

“විශේෂයෙන්ම රශීඩ් ඛාන්ව ගත්තොතින් අපි අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි-20 තරගාවලි දෙකේදීම එයාව හොදින් පාලනය කළා. ඉතිං අපි බලාපොරොත්තු වෙනවා එයාට හොදින් මුහුණ දෙන්න” යනුවෙන් දසුන් සඳහන් කර සිටියි.

දෙරට අතර එක්දින ඉතිහාසයේදී මුණ ගැසී තිබෙන සිව් වතාවේදී ශ්‍රී ලංකාව තරග 3 ක් ජය ගනිද්දී ඇෆ්ගනිස්තානය 2018 වසරේ අබුඩාබිහි පැවැති තරගය ලකුණු 91 කින් ජය ගැනීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, කසුන් රජිත, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මදුශාන්, අසිත ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, ළහිරු කුමාර, භානුක රාජපක්ෂ.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම – හෂ්මාතුල්ලා ශයිඩි (නායක), රාමට් ශා (උප නායක), රාමනුල්ලා ගුර්බාස්, අසාතුල්ලා ඔමාර්සායි, ෆරීඩ් අහමඩ්, ෆසාලක් ෆරූකි, ගුල්බදින් නයිබ්, ඊබ්‍රහිම් සද්‍රාන්, ඉක්‍රම් අලිකිල්, මොහොමඩ් නබී, මජිබූල් නබී, නූර් අහමඩ්, රශීඩ් ඛාන්, රියාස් හසන්, ශහිදුල්ලා කමල්, යමින් අහමදාසායි, දියා උර් රෙහ්මාන්.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest