slc
Home   |    News
නොවැම්බර් 25, 2022
ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණ ගනියි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

පැතුම් නිස්සංක සහ වනිඳු හසරංග හැරුණු කොට පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක්වූ ක්‍රීඩකයින්ට දක්ෂතා අතරට පැමිණීමට අසමත්වීඹ නිසා, සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (25 දා) පැවැති එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 60 අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට සිදුවිය. තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ ලබන 27 වැනිදා තරගයට පෙර තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණේ සිට ගැනීමටද සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

ලකුණු 295 ක ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේ වගකීම කරමතට ගෙන පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ම පන්දුවාර 15 අවසන් වීමට මත්තෙන් දැවී යෑම ප්‍රබල පාඩුවක් විය. වගකීම් විරහිත පිතිහරඹයන් හමුවේ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 38 කදී ලකුණු 234 කට සීමා වුවද, අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දිමට පැමිණි වනිඳු හසරංග, සිය පිතිකරණ හැකියාව කොතෙක්ද යන්න සීතීමට අවස්ථාවක් සලසා දීම තරගයෙන් ලද එකම ධනාත්මක කරුණක් බවට පත්විය.

පා ඉන්නට පසුපස පෙදෙසට හැර ක්‍රීඩාංගණය සිසරා පහර එල්ල කළ දකුණත් පිතිකරුවා අවසන් පිතිකරුවා බවට පත් වෙමින් දැවී යන විටත් පන්දු 46 කදී ලකුණු 66 ක් ලබා ගත්තේ තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන් කිසියම් අස්වැසිල්ලක් ලබා දෙමිනි.

ඉනිම ආරම්භයේදී කුසල් මෙන්ඩිස් ලකුණු @ ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට, දිනේෂ් චන්දිමාල් ලකුණු 14 කටද, ධනංජය ද සිල්වා ලකුණු 16 කටද සහ චරිත් අසලංක ලකුනු 10 කට දැවී යද්දී නායක දසුන් ශානකටද රැස් කරගත හැකි වූයේ ලකුණු 16 ක් පමනි. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 234 දී නිමාවට පත් වන විට ඇෆ්ගනිස්තාන පන්දු යැවීම අතින් ෆසල්හක් ෆරුකි ලකුණු 49 කටද කඩුලු 4 ක්ද, ගුල්බදීන් නයිබ් ලකුණු 34 කට කඩුල 3 ක්ද දවා ශ්‍රී ලංකාවඩ වැඩිම හානිය සිදුකළහ. ඊට අමතරව ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කළ යමින් අහමද්සායි ලකුණු 46 කට කඩුලු 2 ක් බිඳ හෙළීය.

වනිඳුට පෙර ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 83 කදී වේගවත් ලකුණු 85 ක් ලබා ගත්තේය. ෆසල්හක් ෆරුකිගේ පන්දුවක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල බිඳ වැටෙන විට හේ හතරේ පහර 10 කින් තම ඉනිම සන්නද්ධ කරගෙන සීටියේය.

ඇෆ්ගනිස්තාන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සද්‍රාන් ඇෆ්ගනිස්තානු ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූවේය. මහීෂ් තීක්ෂණ විසින් ක්‍රියාත්මක කරන ලද 42 වැනි පන්දුවාරයේදී වනිඳු හසරංග වෙත උඩ පන්දුවක් දී දැවී යන විට ඔහු පන්දු 120 කට මුහුණ දී ලකුණු 106 ක් ලබා සිටියේය. තවමත් 20 හැවිරිදි වියේ පසුවන ඊබ්‍රහිම් අද ලබාගන්නා ලද්දේ සිය දෙවැනි එක්දින අන්තර්ජාතික ශතකය විය. මෙම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ඊබ්‍රහිම් පිදුම් ලැබීය.

ඊබ්‍රහිම්ට අමතරව ඔවුන්ගේ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 20 සීමාව ඉක්මවා ලමින් ලකුණු රැස් කිරීම, ඔවුන් ලකුණු 300 ආසන්නයට යෑමට ප්‍රධාන අඩිතාලම එක් විය. ලකුණු 05 ක් ලබා සිටියදී රාජිතගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා වෙත ලබා දුන් උඩ පන්දුව ගිලිහී යෑමෙන් වරම් ලබා ගත් රාමනුල්ලා ගුර්බාස් ඊබ්‍රහිම් සමග පළමු කඩුල්ලට පන්දු 88 කදී වේගවත් ලකුණු 84 ක් එක් කළේය. වනිදු හසරංගගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ගුර්බාස් දැවී යන විට පන්දු 55 කදී ලකුණු 53 ක් රැස් කරගෙන සිටියේය.

ඉන් නොනැවතුණු ඊබ්‍රහිම් රහ්මත් ෂා (52) සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 118 ක් එක් කළේ පන්දු යවන්නන්ට කිසිද අවස්ථාවක් ලබා නොදෙමිනි. පන්දු 141 ක් වැයවුණු එම සම්බන්ධතාවය ළහිරු කුමාර බිඳ දැම්මේය. මැද පෙළින් පැමිණි නජිබුල්ලා සද්‍රාන් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග පන්දු 25 කදී වේගවත් ලකුණු 42 ක් ලබා ඇෆ්ගන් ලකුණු පුවරුව වේගවත් කළේය. එම ඉනිම ප්‍රධාන කොට ඇෆ්ගනිස්තානුවන්ට පහසුවෙන්ම ලකුණු 300 කඩඉම ඉක්මවාලීමට අවස්ථාවක් පැවතියද අවසන් පන්දුවාර 5 දී යළිත් තරගයට අවතීර්ණ වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 31 ක් ඇතුළත කඩුලු 5 ක් දවාලමින් ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කළහ.

මෙහිදී අතිරේක ක්‍රීඩකයකු ලෙසින් පිටියට පිවිසි අෂේන් බණ්ඩාර ඩීප් මිඩ් විකට් කළාපයේ සිට අති විශිෂ්ඨ පන්දු රැකීමක නිරත වෙමින් හතරේ පහරක් නැවතීමට සමත් වූවා පමණක් නොව රශීඩ් ඛාන්ව දුවද්දී දවා ගැනීමකටද හසු කර ගැනීමට සමත් වූවේය. එතැනින්‌ නොනැවතුණු බණ්ඩාර ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ශහිදීවද දුවද්දී දවා ගැනීමකට හසු කරමින් තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය කණ්ඩායමට ලබා දීමට සමත්වූවේය. අවසානයේ ඇෆේගනිස්තාන පිල නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 294 ක් ලබා ගත් අතර එය ඇෆ්ගනිස්තානු පිල ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. පන්දු යැවීමේදී වනිඳු හසරංග සාර්ථකම පන්දු යවන්නා වූයේ පන්දුවාර 10 ලකුණු 42 කට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගනිමිනි. ඔහුට අමතරව වේගයෙන් පන්දුවට පහර දෙන අවසන් පන්දුවාර 5 ඇතුළත කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත තම අවසන් පන්දුවාර 3 දී ලබා දී තිබුණේ ලකුණු 09 ක් පමණි. ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 10 කදී ලකුණු 52 කට කඩුල්ලක් වශයෙනි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest