slc
Home   |    News
නොවැම්බර් 19, 2022
නිමාෂාගේ සුපිරි පන්දු යැවීමෙන් ග්‍රීන්ස්ට පළමු ජය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ‌අද (19 දා) කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැති තරගයෙන් බ්ලූස් පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ග්‍රීන්ස් කණ්ඩායම සමත්විය.

වමතින් දඟ පන්දු යවන නිමාෂා මදුශානි විසින් ග්‍රීන්ස් පිලේ කඩුලු 6 ක් දවා ගනිමින් දක්වන ලද දක්ෂතාව මත මෙවර තරගාවලියේ පළමු ජය වාර්තා කර ගැනීමටද අනුෂ්කා සංජීවනීගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් පිලට හැකියාව ලැබිණ.

තම පන්දුවාර 10 ම යැවූ නිමාෂා මදුශානි ලකුණු 13 ක් ඇතුලත කඩුලු 6 ක් දක්වමින් දක්වන ලද දක්ෂතාවය මෙවර තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නියක් විසින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ලෙසින් ද සටහන් විය. නිමාෂා හැරුනු කොට දැවී ගිය කඩුලු 10 න් තවත් කඩුලු 2 ක් තමන් සතු කර ගැනීමට සුලේෂා සත්සරණි සමත්වූවාය.

මෙම පන්දු යැවීමේ දක්ෂතාවන් ප්‍රධාන කොට ලකුණු 92 ක ඉලක්කයක් හිමිවූ ග්‍රීන්ස් පිල එය හඹා යෑමේදී පන්දු වාර 23 කුත් පන්දු 4 ක් අවසනදී කඩුලු 2ක් පමණක් දැවී රැස් කර ගැනීමට සමත්විය. එම හඹා යෑමේදී ආරම්භක පිතිකාරිණියන් වුනු හසිනි පෙරේරා පන්දු 76 කදී නොදැවී ලකුණු 35 ක් ලබා වැඩිම ලකුණු ලාභිණිය වූවාය. එම ඉනිමට හතරේ පහර 3 ක් පමණක් ඇතුළත් විය. ඇයට අනගි සහායක් ලබා දුන් කුෂාන්ති ලියනගේ ලකුණු 21 ක් ලබා ගත්තාය.  ලකුණු අතරට පැමිණීමට අසමත්ව සිටින නායිකා අනුෂ්කා සංජීවනී අද තරගයේදීද ලකුණු 09 කට දැවී ගියාය.

මෙතෙක් තරගාවලියේ අපරාජිතව පසුවන කණ්ඩායම් වන රෙඩ්ස් සහ ග්‍රේස් අතර තරගය හෙට (20 දා) බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙනු ඇත.

බ්ලූස් පන්දුවාර 36.1 කදී ලකුණු 91 යි – (රෝෂිනී පෙරේරා 26, සත්‍යා සංදීපනී 18, නිමාෂා මදුශානි 13/6, සුලේෂා සත්සරණි 14/2)

ග්‍රීන්ස් පන්දුවාර 23.4 කදී කඩුලු 2 ට ලකුණු 94 යි – (හසිනි පෙරේරා (නොදැවී) 35, කුෂාන්ති ලියනගේ 21, අමාදි විජේසිංහ (නොදැවී) 19)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest