slc
Home   |    News
දෙසැම්බර් 15, 2022
කැන්ඩි ෆැල්කන්ස් සහ ජැෆ්නා කිංග්ස් කළින්ම අවසන් 4ට

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග 6කදී තරග 5ක් ජයගත් වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ෆැල්කන්ස් පිල අවසන් මහා තරගයට කලින්ම පිවිස කොළොම්තොටදී පැවැත්වෙන තරගාවලියේ අවසන් අදියරට පැමිණේ. මෙවර එල්පීඑල් තරගාවලියේ මූලික වටයේ තරග 6ක්, අවසන් වටයේ තරග 3ක් හා අවසන් මහා තරගය ලබන 17දා සිට 23 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අදියරේ තරග දෙකම ජයගෙන පල්ලේකැලේ ක්‍රීඩාංගණයට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් ක්‍රීඩකයෝ ගෝල් ග්ලැඩියේටර්ස් පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබුුවද අනෙක් සියලුම තරග ජයගෙන ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.

කරට කර සටනක නිරතව සිටි ජැෆ්නා කිංග්ස් සමග සටනින් ඊයේ (14) ලකුණු 10ක ජයක් කැන්ඩි ෆැල්කන්ස් වාර්තා කිරීමත් සමග ලකුණු සටහනේ පළමු තැන වෙන් කරගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. වනිදු හසරංග ප්‍රමුඛ පිරිවර දළ ලකුණු ලබා ගැනීමේ වේගය 1. 908ක් රඳවා ගැනීම හේතුවෙන් අනෙක් කණ්ඩායම්වලට වඩා වැඩි පරතරයකින් සිටී.

ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින ජැෆ්නා කිංග්ස් තරග 6කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට ඇති අතර, දෙවරක්ම පරාජයට පත් වූයේ කැන්ඩි ෆැල්කන්ස් පිලට වීම විශේෂත්වයකි. ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 8ක් ලබා සිටින අතර, දළ ලකුණු ලබා ගැනීමේ වේගය 0. 896කි. කලම්බු ස්ටාර්ස් තරග 6කදී ජයග්‍රහණ 3ක් හා පරාජ 3ක් සමග ලකුණු 6ක් ලබා සිටින අතර දළ ලකුණු ලබා ගැනීමේ වේගය 0. 502කි. ගෝල් ග්ලැඩියේටර්ස් පිල තරග 5කදී ජයග්‍රහණ 2ක් හා පරාජ 3ක් සමග ලකුණු 4ක් ලබා සිටින අතර, දඹුල්ල අවුරා සහභාගී වූ තරග 5ම පරාජයට පත්වීම හේතුකොට ගෙන තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම මූලික වටයෙන් ඉවතට විසිවන තත්ත්වයක් උදා කරගෙන සිටී.

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 නායක දසුන් ශානක පෙරටු කොටගත් දඹුල්ල අවුරා පිළිබඳ විශාල බලාපොරොත්තු ඇතිකර ගෙන සිටියද ඔවුන්ට මෙවර එල්පීඑල් තරගාවලියේ සුපුරුදු රිද්මයට පැමිණීමට නොහැකි විය. දඹුල්ල අවුරා පිලේ පිතිකරණයේ දුර්වලතා මෙවර කැපී පෙණුන අතර, නායක දසුන් ශානක තරග පහේදී ලකුණු 101ක්, භානුක රාජපක්ෂ ලකුණු 95ක්, ෂෙවාන් ඩැනියෙල් ලකුණු 85ක් හා චතුරංග ද සිල්වා ලකුණු 41ක් මෙවර තරගාවලියේ මෙතක් ලබා සිටීම පසු බැසීමට හේතුවකි. එම පිලේ විදෙස් ක්‍රීඩකයන් වූ  එංගලන්ත ජාතික ජෝර්ඩාන් කොක්ස් තරග 5කදී ලකුණු 94ක් හා එංගලන්ත සමර්සෙට් ප්‍රාන්තයේ තෝමස් බෙන්ජර්මින් අබෙල් ලකුණු 33කට සීමාවීම ගැටලුකාරී තත්ත්වයක් විය. එමෙන්ම ප්‍රවේගකාරී පිතිකරුවෙකු වූ සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්ද රාසා තරග 4කදී ලකුණු 14කට සීමාවීම දඹුල්ල අවුරා පිලට හිස එසැවීමට නොහැකි වූ තවත් හේතුවකි.

දඹුල්ල අවුරා පිලේ පන්දු යවන්නන් ප්‍රතිවාදී පිතිකරුවන්ට එරෙහිව දක්ෂතා නොදැක්වීමද මෙවර කැපී පෙණුනි. එහි ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර මෙවර එල්පීඑල් තරගාවලිය පුරා කඩුලු 6ක් දවා ගැනීම හැර අනෙක් පන්දු යවන්නන් කඩුලු දවා ගැනීමට සමත් නොවීම ද පසු බැසීමට තවත් හේතුවකි. ප්‍රමෝද් මධුෂාන් කඩුලු 3ක් දවා ගනිද්දී දඹුල්ල අවුරා පිලේ අනෙක් සියළු පන්දු යවන්නන් මෙවර තරගාවලිය පුරා මෙතෙක් එක් කඩුල්ලකට සීමාවී සිටිති.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා ලෙස ඉදිරියෙන් සිටි කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ඇන්ඩි ෆ්ලෙචර් ඊයේ (14) දිනයේ ජැෆ්නා කිංග්ස් ට එරෙහිව ලබාගත් ලකුණු 35ත් සමග තරග 6කදී ලකුණු 220ක් ලබා පිතිකරුවන් අතර පෙරමුණේ සිටී. ජැෆ්නා කිංග්ස් පිලේ අවිශ්ක ප්‍රනාන්දු කැන්ඩි ෆැල්කන්ස් පිලට එරෙහිව අවසන්වරට ලබාගත් ලකුණු 33ත් සමග තරග 5කදී ලකුණු 210ක් ලබා දෙවැනි ස්ථානයේ සිටින අතර, ජැෆ්නා කිංග්ස් පිලේ සධීර සමරවික්‍රම ලකුණු 194ක්, කැන්ඩි ෆැල්කන්ස් පිලේ පැතුම් නිශ්ශංක ද ලකුණු 192ක්, ගෝල් ග්ලැඩියේටර් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 177ක් හා කළමුබු ස්ටාර්ස් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 167ක් ලබා සිටිති.

කැන්ඩි ෆැල්කන්ස් පිලේ බටහිර ඉන්දීය කොදෙව් ජාතික කාලෝස් බැරත්වෙයිට් ඊයේ දිනයේදී ජැෆ්නා කිංග්ස් ඉනිම සුනු විසුනු කරමින් ලබාගත් කඩුලු 4ත් සමග මේවන විට කඩුලු 15ක් දවාගෙන පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණියේය. ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නුවන් තුෂාර හා කැන්ඩි ෆැල්කන්ස් නායක වනිදු හසරංග කඩුලු 9 බැගින් දවාගෙන සිටිති. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විජේකාන්ත් වියස්කාන්ත් හා එම කණ්ඩායමට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී උපත ලද ජේම්ස් ෆුලර් කඩුලු 8 බැගින් දවාගෙන සිටිති.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest