slc
logo
Home   |    News
දෙසැම්බර් 1, 2022
මේ ම‌ගේ හොඳම එක්දින ඉනිමයි – චරිත් අසලංක

sinhala editor

Chamila Karawita

පන්දුවෙන් පන්දුව හෘධ ස්පන්ධනය වැඩි වුණු ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයේදී ක්‍රීඩා කරන ලද තම ක්‍රිකට් දිවියේ මෙතෙක් ක්‍රීඩා කරන ලද හොඳම ඉනිම ලෙසින් සලකන බව ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරු චරිත් අසලංක සඳහන් කර සිටියේය. ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය අපරාජිතව අවසන් කර ගැනීමට ජයග්‍රහණය තීරණාත්මක තෙවැනි එක්දින තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසු අසලංක ඉහත අදහස් පළ කර සිටියේය.

අධි පීඩන තත්ත්වයක් යටතේ ඉතා මැනවින් පිත්ත හැසිර වූ චරිත් අසලංක පන්දු 72 කදී නොදැවී ලකුණු 83 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කර දුන්නා පමණක් නොව 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ප්‍රසාද ලකුණු සටහනට තවත් ප්‍රසාද ලකුණු 10 ක්ද එක්කාසු කර දීමට සමත්වූවේය. මෙම ඉනිම ප්‍රධාන කොට මෙතෙක් පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා ගොස් ජය ගනු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද ශ්‍රී ලංකා පිල හඹා ගොස් ජය ගන්නා ලද ලකුණු 314 ක ඉලක්කය සටහන් විය.

“අනිවාර්යයෙන්ම අද ඉනිම තමයි මං හිතන්නේ මගේ දැනට ජාත්‍යන්තර ඉනිම වලින් හොඳම එක” යැයි චරිත් සදහන් කර සිටියේය. මෙම තරගය සිය එක්දින තරග දිවියේ 19 වැනි තරගය බවට පත් කර ගත් චරිත් මීට පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 106 කදී ලකුණු 110 ක් වාර්තා කිරීමට සමත්ව සිටියි. එහෙත් චරිත් සඳහන් කර සිටින්නේ මේ තරගයේදී රැස් කළ ඉනිම තම දිවියේ සුවිශේෂීම ඉනිම බවයි. ප්‍රහාරාත්මක වේගය 90.71 ක් රඳවා ගෙන සිටින අසලංක මේ දක්වා ලකුණු 752 ක් රැස් කරගෙන සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 47 ක් රදවා තබා ගනිමිනි.

ලකුණු 314 ක ඉලක්කයක් හඹා ගිය ගමනේදී පන්දු 2 ක් ඉතිරිව තිබියදී එය සපුරා ගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. අවශ්‍යම මොහො‌තේදී සුපුරුදු රිද්මය වෙත පැමිණි චරිත් අසලංකට පන්දුවට පහර දෙන අතරතුරදී මස් පිඬු ඉරී යෑමේ ආබාධයකට ගොදුරු වුවත්, වේදනාව සහිතවම වෙල්ලාලගේ සමග තරගය අවසන් කිරීම කැපී පෙනුනි.

“ඇත්තටම මට තිබුණේ ක්‍රෑම්ප් (මස් පිඬු ඉරී යෑමක්) එකක්. අද ගොඩක් අවුවත් තිබුණා. ඔ්වර්ස් 50 ගහද්දීත් ගොඩක් ෆීල්ඩ් එකේ දිව්වා. බැට් කරද්දීත් දසුන් අයියයි මායි හැමෝම ගොඩක් දෙකේ ලකුණු ගත්තා” යැයි සඳහන් කරන චරිත්, වෙල්ලාලගේ ලබාදුන් සහයෝගය පිළිබඳව වැඩිදුරටත් මෙසේ සදහන් කර සිටියේය.

“දුනිත් (වෙල්ලාලගේ) එතන ලොකු දෙයක් කළ බව ඔයාලා දකින්න ඇති. ලකුනු 33 ක් ඒ වෙලාවේ බෝල අඩු ගාණකට ගහනවා කියන්නේ හරි අමාරු වැඩක්. ලොකු පීඩනයක් එකක්. අනිත් එක ගොඩක් අත්දැකීම් තියෙන පන්දු යවන්නන් හමුවේ දුනිත් ඒ ඉනිම ක්‍රීඩා කළේ. මොකද ඒගොල්ලො ලෝකෙ වටේම ලීග් ක්‍රිකට් ගහන අය. ඉතිං හැමෝම ඒක දන්නවා. නමුත්  දුනිත් අද දිනයේ ක්‍රීඩා කළේ හොඳ අත්දැකීමක් තියෙන ක්‍රීඩකයෙක් විදියට. එයාට හොද ධෛර්යයයක් තියෙනවා. මං හිතනවා ඔහුට හොද අනාගතයක් තියෙයි කියලා” යැයි චරිත් අසලංක සඳහන් කර සිටියේය.

“වෙල්ලා (වෙල්ලාලගේ) ආවම මම දන්නවා එයා දක්ෂතාවය තියෙන ක්‍රීඩකයෙක් කියන එක. හොඳට ගහනවා කියලා. ඉතිං ඔ්වර 43, 44 වෙනකොට මම වෙල්ලට කිව්වේ මට ගොඩක් අමාරුයි, ලයින් එකට විතරක් ගහලා දුවමු කියලා. එහෙම කරන අතරතුර ඔයා ගැප් එකෙන් හතරේ ඒවා ටිකක් ගහලා දෙන්න කියලා. එයා කියපු විදියටම වැඩේ කළා. දසුන් අයියා ඊට ඉස්සෙල්ලා හොඳ පාර්ට්නසර්ශිප් එකක් දාලා ඉනිම ගොඩනඟලා දුන්නා. එතන තමයි මේ ජයග්‍රහණයට හොදම අඩිතාලම වුණේ” යැයි අසලංක සඳහන කර සිටියේය.

ඇෆ්ගනිස්තානය සතු හොඳම  පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් ඉතා හොඳින් පන්දුව යවමින් සිටියදී පිටියට පිවිසු යෞවනයා, සිය ජ්‍යෙෂ්ඨයාට සහාය ලබා දුන්නේ මුහුණ දුන් පන්දු 21 කදී ලකුණු 31 ක් රැස් කරමිනි.  අවසන් පන්දු 16 දී ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 37 න් 26 ක්ම වෙල්ලාලගේ පිත්තෙන් වාර්තා වූ ‌ලකුණු විය. මෙම ලකුණු 26 සඳහා වෙල්ලාලගේ මුහුණ දී තිබුණේ පන්දු 9 කට පමණි. 49 වැනි පන්දුවාරය ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ ඉලක්කය පන්දු 12 කදී ලකුණු 29 ක් විය. එම පන්දුවාරය යැවූ ගුල්බාදීන් නයිබිට එරෙහිව හතරේ පහර 3 ක් එල්ල කරන වෙල්ලාලගේ එම පන්දුවාරයේදී ලකුණු 16 ක් ලබා ගැනීමට සමත්විය.

 ශ්‍රී ලංකා ඉනිම අවසානයේදී චරිත් සහ දුනිත්ගේ ඉනිම කැපී පෙනුණද ඊට පෙර ආරම්භක පිතිකරුවන්, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 33 ක් ලබා ගනිමින් චරිත්ට සාර්ථක සම්බන්ධයක් ලබා දෙමින් ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දැක්වූහ.

ලකුණු 314 ක ඉලක්කය හඹා යෑමට පෙර කණ්ඩායම අතර වූ සාකච්ඡාව පිළිබඳව අසලංක අදහස් දක්වා සිටියේ මේ අයුරිනි. “පළමු තරගයේදී බෝලේ දෝලනයවුණා. ඔයාලා දකින්න ඇති පළමු තරගයට ක්‍රීඩා කළ පිච් එකට වඩා අද තරගය තිබුණු පිච් එකේ තණකොල ගතිය ටිකක් අඩුයි. අපි කළින්ම දැන ගත්තා මේක  පන්දුවට පහර දෙන්න පුලුවන් පිච් එකක් කියලා. මොකද අපේ ස්ටපිනර්ස්ලට වැඩ කළේ නැති නිසා. ඒගොල්ලොන්ගෙත් ස්පිනර්ල්නා තුන්දෙනෙක් ගැහවා. නබී එක්ක හතර දෙනයි. ඉතිං අපි කැප්ටන් කතා කරලා කිව්වේ පිතිකරුවන්ට වාසි දායක මේ තනතීරුවේදි ටෝටල් එක අපිට ගහන්න පුලුවන්. නිකන් ඔ්වර්ස් 50 බැට් කරමු කියලා.  ඒ විදියට අනිත් අයගෙනුත් හොද දායකත්වයක් ලැබුණා. පැතුම්, කුසල්, චන්දි අයියා, දසුන් අයියා මම, වෙල්ලා කට්ටියත් එක්ක එකතු වෙලා ගැහුවා” යනුවෙනි.

“අපි කළින්ම අයිඩින්ටිෆයි කරගත්තා රශීඩ් ඛාන් තමයි අද දවසේ හොඳටම පන්දු යවන්නේ කියලා. ඉතිං දසුන් අයියයි මායි දුනිත්ට කිව්වෙත් රශීඩ් ඛාන්ට විකට් නොදී ඒ ඔ්වරස් ටික වහමු. ඊට පස්සේ අනිත් අයට ලේසියෙන්ම ලකුණු ගහන්න පුලුවන් කියලා. ‌අන්තිමට හොඳ පන්දු වලට අවුට් වුණා. කරන්න දෙයක් නෑ. නමුත් දුනිතුත් මමත් ඔ්වරයක් දෙකක් විකට් නැතුව ගහපු නිසා තරග ජය ගන්න ලේසි වුණා කියලා මම හිතනවා” යැයිද අසලංක වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

අංක 5 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණෙන අසලංක, කණ්ඩායමට පැමිණි මුල් තරග වලදී අංක 3 ස්ථානයෙත් අංක 4 ස්ථානයෙත් පන්දුවට පහර දුන්නේය. එහෙත් ඒ එකම ස්ථානයකවත් ඔහුට ස්ථාවර වීමට නොහැකි විය. කෙසේ වෙතත් දසුන් ශානක නායකත්වයට පත්වීමෙන් පසු තමාට අංක 5 ස්ථානයේ ස්ථාවරවීමට අවස්ථාව සලසා දීම, එම ස්ථානයේ සාර්ථක වීමට හේතුවූ බව ද චරිත් මෙහිදී සඳහන් කර සිටියේය.

“දසුන් අයියාව මතක් කරන්න ඔ්න. එයා තමයි කැප්ටන් වුණාට පස්සේ මට අවුරුද්දකට කළින් එක්දින කණ්ඩායමේ අංක 5ක්‍රීඩා කරන්න කියලා කිව්වේ. එතැනදි එයා කිව්වේ ඔයා අංක 5 ස්ථානයෙන් දිගටම ක්‍රීඩා කරනවා කියලා. ඉතිං ඒකට උපරිම දෙන්න කියලා. මං කළින් අංක 5 ස්ථානයෙන් ගහලා තිබූණෙත් නෑ. නමුත් මං දසුන් අය්යාට කිව්වා ඔ්. කේ. මට පුලුවන් උපරිමයම මම දෙන්නම් කියලා. ඒ ගිය අවුරුද්දේ තිබුණ ඉන්ඩියන් ටුවර් එකේ. ඒ දවස්වල ඉඳන් යම්කිසි විදියකට සාර්ථකත්වයක් දැක්වුවා. දං මං හිතනවා වන්ඩේ එකේ එතනට මං හුරු වෙලා කියලා” යැයි අංක 5 ස්ථානයෙන් ලබා සිටින සාර්ථකත්වය පිළිබඳව චරිත් අදහස් දක්වා සිටියේය.

ෆසල්රුකි ෆරූකි ක්‍රියාත්මක කරන ලද අවසන් පස්දුවාරයේදී පුල් පහරක් හරහා හයේ පහරක් එල්ල කළ චරිත් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කළේය. එම ජයග්‍රහණයත් සමඟ ඔහු පිත්ත පසෙක තබා, හිස් වැසුමද ඉහළ ගුවනට මුසු කරමින් සිය සතුටු සැමරුවේය. ඒ සමඟම සිය දබරැඟිල්ලට දෙතොළඟට තබා කිසියම් සංඥ්‍යාවක් ක්‍රීඩාගාරය වෙත ලබා දීමට කටයුතු කළ අතර, ඒ පිළිබඳවද මාධ්‍ය විසින් චරිත්ගෙන් කරුණු විමසා සිටියේය.

“කාටවත් නොවෙයි. ඒක මං නිකන් කළේ. පර්ෆෝම් කළාම මගේ හැපිනස් එකට මම සාමාන්‍යයෙන් කරන දෙයෙක්. ඒ හැරෙන්න එතන විශේෂ දෙයක් නෑ” යැයි චරිත් සිනාසෙමින් පිළිතුරු ලබා දුන්නේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee