slc
Home   |    News
ජනවාරි 3, 2023
තියුණු තරගයකින් පසු ඉන්දියාව විස්සයි-20 පෙරමුණට එයි

sinhala editor

ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩකටත් වැඩි කාලයක් තරගයේ වැඩි වාසියක් තමන් සතුව තබා ගැනීමට හර්දික් පාණ්ඩ්‍යා ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් වුවත්, දසුන් ශානකට එක් වූ වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න අවසන් පන්දුව දක්වා තරගය අද (03 දා) රාත්‍රි‌යේ රැගෙන ගියේ ක්‍රිකට් ක්‍රීඩාව යනු තවදුරටත් අවිනිශ්චිත ක්‍රීඩාවක් බවට පෙන්නුම් කරමින්. අවසන් පන්දුවට ජයග්‍රහනය සඳහා ලකුණු 4 ක් ලබා ගැනීමේ අභියෝගය චාමික කරුණාරත්න හමුවේ තිබුණත් එය ජය ගැනීමට නොහැකිවීම නිසා අවසානයේ ඉන්දීය කන්ඩායමට ලකුණු 2 ක තියුණු ජයක් හිමිවිය. මේ සමඟම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියද 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමට අවස්තාව උදාවිය.

ඉදිරි පෙළ පිතිකරුවන් යළිත් අසාර්ථකත්වයට පත්වීම නිසා ඉනිමේ හරි අඩක් අවසන් වන විට ශ්‍රී ලංකා ලකුනු පුවරුව දිස්වූයේ ලකුනු 68 කට කඩුලු 5 ක් ලෙසිනි. බැලූ බැල්මට ඉනිම ගොඩ නැගීම දැඩි අසීරු කරුණක් වුවත්, 6 වැනි කඩුල්ලට එක් වුණු දසුන් හානක සහ වනිදු හසරංග, ගිලිහී තිබූ තරගය යළි ශ්‍රී ලංකාව වෙත ඇද බැඳ තබා ගැනීමට අඩිතාලම එක් කළහ. ඒ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 40 ක් එක් කරමිනි.

තරගය පරාජයට පත් වුවද සමස්ථ තරගයේදීම කැපී පෙනෙන පිතිහරඹය දියත් කරන ලද්දේ දසුන් ශානක විසින් බව අවිවාදිතය. පන්දු 27 කට මුහුණ දුන් ශ්‍රී ලංකා නායකයා හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් රැස් කරන ලද ලකුණු 45 ක ඉනිම ශ්‍රී ලංකාවට වැඩි වටිනාකමක් එක් කරන්නක් විය. යුස්වේන්ද්‍ර චෙහල්ගේ පිට පිට පන්දු 2 කට මිඩ් විකට් කළාපයට ඉහලින් හයේ පහර 2 ක් එල්ල කළ වනිඳු පන්දු 10 කදී ලකුණු 21 ක් බවට තම ඉනිම පරිවර්තනය කර ගත්තේ තවත් හතරේ පහරක්ද එකතු කර ගනිමිනි.

ඉන්දීය ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වුණු ශිවාම් මාවිගේ ගොදුරක් ලෙසින් වනිඳු පිටියෙන් ඉවත්ව ගියද නායකයාට එක් වුණු චාමික කරුණාරත්න අවසන් පන්දුව තෙක්ම තරගය රැගෙන ගියේය. මුලු ලකුණු සංඛ්‍යාව 129 ක් ව තිබියදී ශ්‍රී ලංකා නායකයාද දැවී ගියද චාමික විසින් තරගය අවසන් පන්දුවාරය දක්වා රැගෙන ගියේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 13 ක් දක්වා පරතරයකට අඩු කරලමිනි. අක්සාර් පටෙල් විසින් යවන ලද එම පන්දුවාරයේදී චාමික ඇතුළු පිරිවරට රැස් කරගත හැකි වූයේලකුණු 09 ක් පමනි. එම පන්දුවාරයේ පන්දු 2 ක්ම වයිඩ් පන්දු යැයි සිතා නිදැලේලේ යැවීමට චාමික පියවර ගත්තද විනිසුරුවරයාගේ තීරණය වූයේ එම පන්දු වයිඩ් පන්දුවේ සීමාවට වඩා මෙහායින් ඇදී යන පන්දු ලෙසිනි. මෙය ශ්‍රී ලංකා පරාජයට සෘජුවම බලපෑ සාධකය බවට පත් වද්දී ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 20 අවසනදී සටහන් වූයේ සියලු දෙනා දැවී ලකුණු 160 ක් ලෙසිනි.

අද තරගය තම මංගල තරගය කරගත් ශිවාම් මාවි ශ්‍රී ලංකා ඉනිමට දැඩි හානියක් සිදුකරන ලද පන්දු යවන්නා බවට පත්වූයේ. යවන ලද පන්දුවාර 4 දී ලකුණු 22 ක් පමණක් ලබා දුන් දකුණත් වේග පන්දු යවන්නා කඩුලු 4 ක් තම නම ඉදිරියෙන් සටහන් කරගත්තේ සමාරම්භක තරගයට වටිනා මතකයක් එක් කර ගනිමිනි. පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂන මාවිගේ  පන්දු හමුවේ දැවී ගිය පිතිකරුවෝ වූහ.

පන්දු යැවීමෙන් කැපී පෙනුණද තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පන්දු 23 කදී ලකුණු 41 ක් සහ අවසන් පන්දුවාරය ලකුණු 09 කට සීමා කිරීමට සමත් වුණු අක්සාර් පටෙල් විය.

ඉන්දීය පිල වෙනුවෙන් ඉනිම ඇරැඹි ඉෂාන් කිෂාන් විසින් පළමු පන්දුවාරය යැවූ කසුන් රාජිතගෙන් ලකුණු 17 ක් උදුරා ගනිමින් වේගවත් ආරම්භයක් ලබා ගත්තත් දඟ පන්දු යවන්නන් පැමිණීමත් සමඟ ඉන්දීය මැද පෙළ දැඩි පාලනයකට නතු විය. මෙහි ආරම්භක සාමාජිකයා වූයේ මහීෂ් තීක්ෂණ වන අතර ඔහු සිය මංගල තරගයට සහභාගිවුණු ශුබ්මන් ගිල්ව කඩුල්ල මුවා කිරීමේ වර දට හසු කර ගනිමින් පළමු බිද දැමීමට මුල පෙරුවේය. එම කඩුල්ල මහීෂ් තීක්ෂණගේ පළමු පෙළ විස්සයි-20 තරග දිවියේ 100 වැනි කඩුල්ල ලෙසින්ද සනිටුහන් විය.

එම දැවී යෑ‌මෙන් පසු ලකුණු 19 ක් ඇතළත ඉන්දීය පිල සතු ප්‍රධානතම පිතිකරුවා හෙවත් මිස්ටර් 360 ලෙසින් විරුදාවලිය ලත් සූර්යකුමාර් යාදව් (07) සහ සංජු සැම්සන් (05) දවා ගැනීමට චාමික කරුණාරත්න සහ ධනංජය ද සිල්වා සමත්වීම නිසාඉන්දීය ඉනිම නොසිතූ අවදානමකට මුහුණ දුන්නේය.

ලකුණු 46 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටීම ඉන්දීය නායකයාගේ කණස්සල්ලට හේතු වූවත්, ක්‍රම ක්‍රමයෙන් තම කණ්ඩායම මුහුණ දී තිබූ අසීරුතාවයෙන් කණ්ඩායම මුදවා ගැනීමට සමත් වූවේය. ඒ පන්දු ලකුණු 29 ක් රැස් කරමිනි. පාණ්ඩ්‍යා යනු වේගයෙන් පන්දුවට  පහර දෙන්නකු ‌වුවත් කණ්ඩායම වැටී සිටී ආකාරය අනුව ඔහුට එම ලකුණු සංඛ්‍යාව රැස් කිරීම සඳහා පන්දු 27 ක් වැය වී තිබිණ. මෙය තවත් ආකාරයකින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය යුතුකම හොඳින්ම ඉටු කළ බවටද නිඟමනයකට පැමිණිය හැක.

කෙසේ වෙතත් ඩිල්ෂාන් මදුශකගේ පන්දුවක් හමුවේ පාණ්ඩ්‍යා දැවී යනවිටත් ඉන්දීය ලකුණු පුවරුව පන්දුවාර 14.1 කදී කඩුලු 5 ක් දැවී සටහන් වූයේ ලකුණු 94 ක් ලෙසිනි. මෙම දැවී යෑමත් සමඟ පිටියට එකතු වුණු දීපක් හූඩා සහ අක්සර් පටෙල් තරගය ශ්‍රී ලංකාවෙන් ඈතට රැගෙන ගියේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී වේගවත් සහ නොබිඳුණු ලකුණු 68 ක සම්බන්ධතාවක් පවත්වමිනි.

ඒ වෙනුවෙන් හූඩා පන්දු 23 කදී ලකුණු 41 ක් රැස් කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහරක් ද සමඟිනි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට හූඩා පත් වද්දී අනගි සහායක් ලබා දුන් අක්සාර් පටෙලන් පහයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟ පන්දු 20 කදී ලකුණු 31 ක් ලබා ගත්තේය. 16 වැනි පන්දුවාරය යැවූ මහීෂ් තීක්ෂණගේ පිට පිට පන්දු 2 කට හතරේ සීමාවට ඉහළින් පන්දුව හරවා යැවූ අක්සාර් පටෙල් අධිවේගී පන්දුවාර 4 සදහා සාර්ථක ප්‍රවේශයක් ලබා ගත්තේය. මෙම සම්බන්ධතාව ප්‍රධාන කොට ඉන්දීය ඉනිමේ නියමිත පන්දුවාර 20 අවසන් වනවිට කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් රැස් කිරීමට ඔවුනට අවස්ථාව උදාවිය. පළමු පන්දුවාරයේ සිටම කසුන් රජිත දැඩි ප්‍රහාරයකට ලක් වුවත් ඔහු පිළීබඳව විශ්වාසය තැබූ නායක දසුන් ශානක අවසන් පන්දුවාරය යැවීමත් ඔහුට බාර කළ නමුත් එම පන්දුවාරයේදීද ලද ලකුණු 13 ත් සමඟ පන්දුවාර 4 දී ලකුණු 47 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්ව සිටියහ. සමස්ථයක් ගත් විට දඟ පන්දු යවන්නන් අද තරගයේදී ඉතා හොඳින් පන්දු යැවීම කැපී පෙනිණ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest