slc
Home   |    News
ජනවාරි 7, 2023
විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

sinhala editor

තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් රාජ්කොට්හි අද (07 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී සංචාරක පිලට එරෙහිව ලකුණු 91 ක දැවැන්ත ජයක් වාර්තා කළ සත්කාරක ඉන්දියානුවෝ තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළහ. ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ඔවුන්ගේ මව්බිමේදී තරගාවලි පරාජයකට ඇද දැමීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුව අවස්ථාවද ඒ සමඟම අහිමිව ගියේ පන්දු යැවීමත්, පන්දුවට පහර දීමත් මෙන්ම පන්දු රැකීමේදීත් යන තුන් ඉරියව්වෙන්ම ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාව පසුපසින් සිටීම නිසාය.

පන්දුවාරයකට ලකුණ 11.45 ක වේගයක් රඳවා තබා ගැනීමේ අභියෝගය ද සමග ඉන්දියාව ලබා දුන් ලකුණු 229 ක අසීරු ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 16.4 ක් දැවී ලකුණු 137 ක් පමනි. අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව අසමත්වීමත් සමඟ ඉන්දියානු කණ්ඩායම සිය නිජබිමේදී විස්සයි-20 තරගාවලි අපරාජිතත්වය 12 වැනි තරගාවලිය දක්වා දීර්ඝ කර කැනීමටද සමත්වූහ.

ශ්‍රී ලංකා ඉනිම පන්දුවට පහර දීමේදී කිසිවකුටත් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට නොහැකිවිය. අද දිනයේදීද ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක දසුන් ශානක පමණි. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී වේගවත් ලකුණු 44 ක් එක් කිරීමට කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක සමත් වුවත්, මෙන්ඩිස්ගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම කඩා වැටිණ.

මුලු ලකුණු සංඛ්‍යාව 44 ක් ව තිබියදී මෙන්ඩිස් දැවී යෑමෙන් ලකුණු පුවරුව ලකුණු 7 ක් එකතු වන විට පැතුම් නිස්සංක (15) සහ අවිශ්ක ප්‍රනාන්දු දැවී යෑම ශ්‍රී ලංකාවට දරාගත නොහැකි පාඩුවක් විය. භානුක රාජපක්ෂගේ ස්ථානය සඳහා ආදේශ කෙරුනු අවිශ්කට අද රැස්කරගත හැකි වූයේ ලකුණක් පමණි. ඉක්කය දැවැන්ත බැවින්, ඉදිරි පෙළ පිතිකරුවන් දක්ෂතා අතරට පැමිණීම අනිවාර්යය වුවත් ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා දැවී යන විටත් ලකුණු පුවරුව 96 ක් ලෙසින් සටහන් විය. එම දැවී යෑමෙන් පසු දසුන් සතුව නම්දරූ එකම පිතිකරුවකු හෝ නොවීය. වනිඳු සහ චාමික තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස ක්‍රීඩා කරන බැවින් ඔවුන් හමුවේ ඒ තරම් වගකීමක් පැටවීම සාරධණ නොවේ.

ප්‍රවේගකාරී ආරම්භක් ලබා ගැනීමට චරිත් අසලංක සමත් වුවත්, ශිවාම් මාවිගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේ ඔහුගේ ඉනිමද ලකුණු 19 දී නිමාවට පත්විය. හුදෙකලා ඉනිමක නිරත වුණු නායක දසුන් ශානක පන්දු 17 කදී ලකුණු 23 ක් ලබා ගත්තේ තරගයේ පරාජිත පරතරය පමණක් අඩු කර ගනිමිනි.

ඉන්දීය ඉනිම සූර්යකුමාර් යාදව්ගේ සංදර්ශනයක් විය. 6 වැනි පන්දුවාරයේදී පන්දුවට පහර දීමට පැමිණි දකුණත් පිතිකරුවා ඉනිමේ අවසන් පන්දුවාරය තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කර ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත ලෙස පිත්ත හසුරුවමිනි. මිස්ටර් 360 ලෙසින් නම් දරා සිටින යාදව් අද දිනයේදී නොදැවී ලකුණු 112 ක් ලබා ගත්තේ පන්දු 51 කට පමණක් මුහුණ දෙමිනි.

තණතීරුව දෙපසින් වූ හතරේ සීමාව පිතිකරුවාට ආසන්නයෙන්ම පිහිටා ඇති බැවින් එහි වාසිය ලබා ගත් යාදව් ප්‍රමුඛ ඉන්දීය පිතිකරුවෝ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 229 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබාදුන්හ.

ඉන්දීය ඉනිමේදී වාර්තා වුණු හයේ පහර 14 න් 9 කටම හිමිකම් කී යාදවු සිය ඉනිමට හතරේ පහර 7 ක්ද එල්ල කළේය. 46 වැනි ජාත්‍යන්තර විස්සයි-20 තරගයට අද දිනයේ සහභාගිවුණු යාදව් අද රැස් කර ගන්නා ලද්දේ තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ශතකයයි. ඒ හැරුණු කොට අර්ධ ශතක 13 කටද හිමිකම් කියන දකුණත් පිතිකරුවාගේ සාමාන්‍යා 46.71 ක් සහ ප්‍රහාරාත්මක වේගය 180.34 ක් තරම් ඉහළ අගයක පවත්වාගෙන යෑමද කැපී පෙනෙයි.

පළමු පන්දුවාරයේදී ඉෂාන් කිශාන් දවා ගැනීමට ඩිල්ෂාන් මදුශංක සමත් වුවත්, ශුබ්මන් ගිල්ට එක්වූ රාහුල් ට්‍රිපාටි දෙවැනි කඩුල්ලට පන්දු 31 කදී ලක්ණු 49 ක් එක් කරමින් ස්ථාවරත්වයක් ලබා දුන්හ. ඉනිමේ ප්‍රාහරාත්මක කඩුලු සම්බන්ධතාවය ආරම්භ වූයේ ට්‍රිපාටිගේ දැවී යෑමත් සමඟය. පන්දු 16 කදී ලකුණු 35 ක් ලබා සිටි ට්‍රිපාටික චාමිකගේ පන්දුවක් හමුවේ මදුශංක අතට උඩ පන්දුවක් දී දැවී යෑමෙන් පසු ගිල්ට එකතු වුණු සූර්යකුමාර් යාදව් ඉනිමේ සාර්ථකම සම්බන්ධතාව වූ ලකුණු 111 ක් රැස් කළේ පන්දු 53 ක් වැය කරමිනි. එම සම්බන්ධතාවේදී ගිල්ගේ දායකත්වය පන්දු 19 කදී ලකුණ 32 ක් වුවත් ඊට වඩා දෙගුණයක් ප්‍රහාරාත්මක වුණු යාදව් පන්දු 34 කදී වේගවත් ලකුණු 77 ක් රැස් කළේය.

ඉන්දීය ඉනිමේ හරි අඩක් අවසන් වන විට ඔවුන් කඩුලු 2 කට ලබා සිටියේ ලකුණු 92 ක් පමණි. එහෙත් යාදව්ගේ පිබිදීමත් සමඟ අවසන් පන්දුවාර 10 දී ලකුණු 136 ක් රැස් කර ගැනීමට ඔවුහු සමත් වූහ. ඉන්දීය පිතිකරුවන් හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දරුණු ප්‍රහාරයකට ලක් වූවත් ඒ අතරින් නිලකුණු පන්දුවාරයක් යැවීමට කසුන් රජිත සමත්විය. ඉනිමේ කැපී පෙනෙනම පන්දු යවන්නා බවටද පත්වූ රජිත පන්දුවාර 4 ලකුණු 35 කට සීමා කරමින් කඩුල්ලක් දවා ගනිද්දී වනිඳු හසරංග තම පන්දුවාරය 4 ලකුණු 36 කට සීමා කොට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූවේය. සෙසු පන්දු යවන්නන්ට රිද්මය සොයා ගැනීමට අසමත් වද්දී පන්දුවාරයකට ලකුණු 12 ට වඩා සාමාන්‍ය රඳවා ගැනීමට ඉන්දීය පිතිකරුවෝ සමත්වූහ.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest