slc
Home   |    News
පෙබරවාරි 7, 2023
ලසිත් කෲස්පුල්ලේගෙන් අමතක නොවන ඉනිමක්

sinhala editor

Chamila Karawita reporting from Galle

කලකට අමතක නොවන වේගවත් පිතිහරඹයක් දියත් කළ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේගේ පන්දු 109 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 122 ක ඉනිම හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (07 දා) ආරම්භ වුණු දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේදී පළමු දිනයේදීම හිස එසවීමට ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබිණ. අයහපත් කාලගුණය හේතුවෙන් පළමු දිනය පන්දුවාර 44.3 කට පමණක් සීමා වූ නමුත් කෲස්පුල්ලේ ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 190 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියහ.

මෙය එංගලන්ත ලයන්ස් පිල හමුවේ කෲස්පුල්ලේ ලද දෙවැනි ශතකය බවට පත්විය. මීට පෙර ඔහු කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුණු තරගයේ දෙවැනි ඉනිමේදී පන්දු 84 කදී වේගවත් ලකුණු 116 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් XI  කණ්ඩායම කඩුලු 4 ක ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට මූලිකත්වය ලබා දුන්නේය. කෲස්පුල්ලේගේ එම ලකුනු 116 න් 90 ක්ම හයේ (05) සහ හතරේ (15) පහර වලින් සමන්විත වීම කැපී පෙනෙයි.

ඔෂද ප්‍රනාන්දු වෙනුවට දෙවැනි තරග‌යේදී කණ්ඩායමට කැඳවූ ලසිත් කෲස්පුල්ලේ ආරම්භයේ සිටම සිය ප්‍රහාරය දියත් කළේය. ලයන්ස් පන්දු යවන්නන් තුට්ටුවටකට මායිම් නොකළ දකුණත් පිතිකරුවා දුර්වල පන්දු දුටු තැන කිසිදු සමාවක් ‌නොමැතිව පන්දුවට පහර දීම කැපී පෙනිණ. මෙහිදී මුහුණ දුන් 41 වැනි පන්දුවේදී අර්ධ ශතකය වාර්තා කර ගන්නා කෲස්පුල්ලේ ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ පළමු ලකුණු 100 න් 64 ක්ම සිය පිත්තෙන් වාර්තා කර ගැනීමට සමත් වන්නේය.

පළමු සිව්දින ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබමින් කැපී පෙනුණු නිශාන් මදුෂ්කට අද දිනයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි. සිය ප්‍රවීණයා දැවී ගියද තමාට හුරු පුරුදු වේගවත් පිතිකරණ රටාවෙන් නොමිඳුනු කෲස්පුල්ලේ ජොෂ් ටංග්ට එරෙහිව එල්ල කරන ලද ෆ්ලික් පහරින් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ශතකය වාර්තා කළේය.

පිටියේ සෑම අන්තයකටම පන්දුව යැවීමට උපන් සමත්කමක් දක්වන්නකු වන කෲස්පුල්ලේ වේගයෙන් පන්දුවට පහර දුන්නද ඔහුගේ තාක්ෂණයෙහි කිසිදූ අඩුවක් නොමැත. සෑම් කුක්ගේ පන්දුවාරයක යැවුණු පිට පිට පන්දු 4 න් 3 ක්ම හතරේ සීමාවට යැවූ කෲස්පුල්ලේ පළමුව මදුෂ්ක සමඟ එක්වෙමින් ලකුණු 59 ක්ද නුවනිඳු ප්‍රනාන්දු සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක්ද එක් කරමින් ලකුණු පුවරුව පෝෂණය කළහ.

අද දිනයේදී ලයන්ස් ක්‍රීඩකයින් අතින් අතපසු නොවූනාම නොවේ. ඔවුන් අතින් උඩ පන්දු දෙකක් ගිලිහී ගියේ නුවනිදු ප්‍රනාන්දු ලකුනු 05 දී සහ නිපුන් ධනංජය ලකුණු ලබා ගැනීමට පෙරම උඩ පන්දු ලබා දුන්නද ඒ අවස්ථා ඔවුන් අතින් ගිලිහී ගියේය.

අද ප.ව. 2.45 ට තරගය අයහපත් කාලගුණය නිසා තරගය නතර කර දැමුණු නමුත් වර්ෂාව දැඩිවීම නිසා නැවතත් තරගය ආරම්භ කිරීමේ අවස්ථාව විනිසුරුවන්ට නොමැති විය. එබැවින්. ප.ව. 3.57 පමණ වන විට තරගය ප.ව. 4.00 ට අත හැර දමනා බව ඔවුන් නිවේදනය කර සිටියේය. ඒ අනුව තරගයේ දෙවැනි දිනය වන හෙට (08 දා) තරගය පෙ.ව. 9.45 ට ආරම්භ වනු ඇත.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest