slc
logo
Home   |    News
මාර්තු 16, 2023
නිශාන් මදුශ්ක ටෙස්ට් දොරටුව අභියස

sinhala editor

BY CHAMILA KARAWITA

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ හෙට (17 දා) වෙලින්ටන්හි බේසින් රිසර්ව් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හරිම සංයුතිය සකසා ගැනීම වෙනුවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ.

මෙහිදි අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වුණු පළමු ටෙස්ට් තරගයේදී පිතිකරුවකු වශයෙන් මෙන්ම කඩුලු රකින්නකුගේ කාර්යය භාරය ඉටු කිරීමට පොහොසත් වු නිරෝෂන් දික්වැල්ල වෙනුවට අතිරේක කඩුලු රකින්නා ලෙසින් කණ්ඩායමේ රැදී සිටින නිශාන් මදුශ්කව ක්‍රීඩා කරවීමත් සහ තවත් අතිරේක වේග පන්දු යවන්නකු කණ්ඩායම තුළට ඇතුළු කිරීමත් යන කරුණු මුල් කර ගනිමින් මෙම 12 දෙනා නම් කළ බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියේය.

“මං හිතන්නේ අපිට හොද සූදානමක් තියෙනවා. පළමු තරගය පරාද වුණාට පස්සේ හැමෝම එකට එකතු වෙලා අපේ අතින් සිද්ධ වුණු වැරදි මොනවද ඒවා හදාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරලා තියන්නේ. කොහොම වුණත් හෙට තරගය සදහා අපි 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් හදලා තියෙනවා” යැයි දිමුත් සඳහන් කර සිටියි.

“ඊයේ අපිට නිවාඩු දවසක්. අපි අද තමයි කණ්ඩායමක් විදියට පුහුණුවීම් කරන්නේ. ඉතිං අද විකට් එක දිහා බලලා තීරණය කරනවා අපි වේග පන්දු 4 දෙනෙක් එක්ක යනවද කියලා”.

“හෙට තරගය පැවැත්වෙන තණතීරුව කළින් එකට වඩා පොඩ්ඩක් වැඩිපුර තණතකොල තියෙනවා. කාලගුණ වාර්තාව ගත්තත් අවසන් දවස් දෙකේදි පොඩ්ඩක් වහින්න තියෙනවා. ඒක නිසා අපි බලන්න ඔ්න මේ තරගයෙදි දඟ පන්දු යවන්නෙක්ගෙන් වැඩක් ගන්න පුලුවන්ද? එහෙමත් නැත්නම් වේග පන්දු යවන්නන්ගෙන් ඊට වඩා ලොකු දෙයක් කරගන්න පුලුවන්ද කියන එක ගැන” යැයි දිමුත් සඳහන් කර සිටියි.

මේ පිළිබඳව කණ්ඩායමේ කළමනාකාරීත්වය කෙතරම් ගැඹුරට සිතා ඇත්ත කිවහොත් දෙරට අතර පළමු ටෙස්ට් තරගයට පෙර වෙලිංටන්හි නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති ටෙස්ට් තරගයේ ප්‍රතිඵලය පිළිබඳව අවධානය යොමු කර තිබේ. වෙලිංටන් තණතීරුව වේග පන්දු යවන්නන්ට සහයෝගයක් දෙනු ඇතැයි සඳහන් වුවත්, එංගලන්ත පිල වෙනුවෙන් එම තරගයේදී ක්‍රීඩා කරන ලද  වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච් සමස්ථ තරගයේ කඩුලු 8 ක් බිඳ හෙළීමට සමත්ව තිබේ. මෙය දඟ පන්දු යවන්නකු ක්‍රීඩා කරවීමට කමනාකාරීත්වයේ තීරණය චංචල කරවන්නට හේතු වී තිබේ.

“අපි බැලුවොත් එහෙම එංගලන්ත කණ්ඩායමයි නවසීලන්තයයි මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරපු තරගයේදී ජැක් ලීච් ඇවිල්ලා විකට් පහක් (දෙවැනි ඉනිමේදී) අරන් තියෙනවා. ඉතිං අපේ ඔලුවේ තිබ්බේ ගොඩක් වෙලාවට දඟ පන්දු යවන්නෙක්ව යොදා ගන්න එක. මොකද අපි දන්නවා මෙහේ ගොඩක් හුළං සහහ අව්වත් සෑහෙන්න තියෙන නිසා තණතීරුව හිටපු ගමන් වේලෙන්න ගන්නවා” යැයි පවසන දිමුත්, එහෙත් කාලගුණ වාර්තාව අනුව අවසන් දින දෙකේදී වර්ෂාවෙන් බාධා ඇතිවීමට ඇති ප්‍රවණතාව නිසා තණතීරු‌ව වියළි ස්වභාවයක් ගනු ලබන බැවින් දඟ පන්දු යවන්නකුගේ සහාය ලබා ගැනීම ඵල රහිත නොවන ක්‍රියාවක් බවයි.

“මේ තත්ත්වයේ උඩ අපිට කියන්න බැහැ වැස්සොත් දඟ පන්දු යවන්නෙක්ගෙන් අන්තිම දවසේ දෙකේ වගේ වෙනකොට ඒකෙ තියෙන වාසිය ගන්න පුලුවන් වෙයි කියලා.ඒකත් එක්ක තමයි අපි කල්පනා කරලා බැලුවේ වේග පන්දු යවන්නෙක් ක්‍රීඩා කෙරෙව්වොත් මෙහේ හුළඟයි වළාකුළුයි එක්ක මීට වඩා ඇඩ්වන්ටේජ් එකක් ගන්න පුලුවන් කියලා. ඒකත් එක්ක ප්‍රභාත් (ජයසූරිය) එක්කම අපි දැනට 12 ක් නම් කරලා තියෙනවා” යැයි දිමුත් පවසයි.

දඟ පන්දු යවන්නකු ක්‍රීඩා කරන්නේ නම් ඒ සඳහා ප්‍රභාත් ජයසූරිය නිසැකයෙන්ම සුදුසුකම් ලබන නමත්, වේග පන්දු යවන්නන් සිවු දෙනෙකු ක්‍රීඩා කරවීමට තීරණය ක‌ළහොත් වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දුට 11 දෙනා අතරට පැමිණීමේ හැකියාව උදාවනු ඇත. කෙසේ වෙතත් වසර කීපයකට පසු චාමික කරුණාරත්නවද ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කරන ලද්දේ සිව්වැනි වේග පන්දු යවන්නා ලෙසින් අවශ්‍ය වූ විටෙක තුන් ඉරියව්වෙම සහාය ලබා ගැනීමේ අදහසිනි.

පන්දු යවන්නන්ගේ තත්ත්වය හෙට උදැසන විසඳීමට බලාපොරොත්තු වද්දී කණ්ඩායම නම් කිරීමේදී තමා මුහුණ දී සිටින අනෙක් ගැටලුව වන්නේ නිරෝෂන් දික්වැල්ලගේ ස්ථානය වන බව සදහන් කර සිටියේය. “නිරෝෂන් දික්වැල්ලගේ ස්ථානය ගැන තමයි අපිට ප්‍රශ්නය තියෙන්නේ. ඒ තීරණ දෙක ඇරෙන්න ගොඩක් වෙලාවට අනිත් කණ්ඩායම ඒ විදියටම ක්‍රීඩා කරයි” යැයි දිමුත් කියයි.

මොරටුව මහ විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨව සිටින දකුණතින් පන්දුවට පහර දෙන නිශාන් මදුශ්ක තවමත් 23 වැනි වියේ පසුවන්නේය. දේශීය තරග මාලාවේදී අවම ඉනිම සංඛ්‍යාවක් ලකුණු 1000 ක් සම්පූර්ණ කළ පිතිකරුවා ලෙසින් වාර්තා පොත් අතරට එක් වූ මදුශ්ක, අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින සහ සිව්දින තරග වලදී අති විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූයේ ශ්‍රී ලංකා ‘ඒ’ පිලට වැඩි ගෞරව අත්කර දෙමිනි. එම තරගාවලියේ ආරම්භක පිතිකරුවකු ලෙසින් ක්‍රීඩා කළ මදුශ්ක 150, 01, 241, 22 සහ 100 වශයෙන් ලකුණු රැස් කළේය.

“දික්වැල්ල ක්‍රීඩා නොක‌ළොත් අනිවාර්යයෙන්ම අතිරේක කඩුලු රකින්නෙක් විදියට ඉන්නේ නිශාන් මදුශ්ක. මං හිතනනේ ඔහුට චාන්ස් එකක් හම්බවෙයි හෙට ක්‍රීඩා කරන්න” යැයි පවසන දිමුත්, “හැබැයි මං හිතන්නේ නෑ එයාට ඉදිරි පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරන්න පුලුවන් වෙයි කියලා. හෙට තරගයට ඔහු ක්‍රීඩා කළොත් අනිවාර්යයෙන්ම නොම්බර 7 ස්ථානයෙන් තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ” යනුවෙන්ද සදහන් කළේය.

මදුශ්ක හැරුණු කොට කණ්ඩායම තුළ කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල්ට කඩුලු රැකීමේ හැකියාව තිබුණත් පිතිකරුවන් ලෙස උපරිමය ලබා දෙන බැවින් කඩුලු රැකීමේ අත් ආවරණ ලබා දී ඔවුන්ට වෙහෙසට පත් කිරීමට දිමුත් මෙන්ම කළමනාකාරීත්වයද අකමැතිය. එබැවින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 163 වැනි ක්‍රීඩකයා බවට හෙට දිනයේදී නිශාන් මදුශ්ක පත් වුවහොත් ඔහු අංක 7 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණෙනු ඇත.

හෙට තරගය පෑවත්වෙන වෙලිංටන් තණතීරුව හෙග්ලි තනතීරුව මෙන් නොව ශ්‍රී ලංකාවට වඩාත් හිතකර තත්ත්වයන් ලබා දී තිබෙන ක්‍රීඩාංගණයකි. 2006 වසරේදී ශ්‍රී ලංකාව මෙහි ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කරද්දී 2018 වසරේදී ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් මෙහි සම්පූර්ණ දියක් සහ තවත් සැසියක් ක්‍රීඩා කරමින් තරග ජය පැරදුමින් තොරව අවසන් කර ගැනීමට සමත්ව තිබේ.

කෙසේ වෙත්ත හෙටින් ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පැමිණෙමින් මෙවර තරග වාරය නිමා කිරීමේ අවස්ථාව උදාවනු ඇත. යම් ලෙසකින් හෙට තරගය පරාජයට පත් වුවහොත් මේ වන විට 6 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම 8 වැනි ස්ථානය දක්වා පහළ වැටෙනු ඇත.

ශ්‍රී ලංකා XI – 1. ඔෂධ ප්‍රනාන්දු, 2. දිමුත් කරුණාරත්න (නායක), 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා, 7. නිශාන් මදුශ්ක, 8. කසුන් රජිත, 9. විශ්ව ප්‍රනාන්දු/ප්‍රභාත් ජයසූරිය, 10. අසිත ප්‍රනාන්දු, 11. ළහිරු කුමාර.

නවසීලන්ත XI – 1. ටොම් ලේතම්, 2. ඩෙවෝන් කෝන්වේ, 3. කේන් විලියම්සන්, 4. හෙන්රි නිකොල්ස්, 5. ඩැරල් මිචෙල්, 6. ටොම් බ්ලන්ඩල්, 7. මයිකල් බ්‍රේස්වෙල්, 8. ඩග් බ්‍රේස්වෙල්, 9. ටිම් සවුති (නායක), 10. මැට් හෙන්රි, 11. බ්ලෙයාර් තික්නර්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee