slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2023
වෙනදාටත් වඩා හොදින් මට හැම දේම තේරනවා – කුසල්

sinhala editor

ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග අංශ තුනේ ක්‍රීඩා කළ යුත්තේ කෙසේ දැ යන්න පිළිබඳව දැන් වෙනදාටත් වඩා හොදින් තේරුම් ගෙන ඇති බවත්, පුහුණුකරු හා නායකයා බලාපොරොත්තුවන වගකීම තණතිල්ල තුලදී යථාර්ථයක් කළ යුතු ආකාරය පිළිබඳ තමා හොද අවබෝධයක් තිබෙන බවත් අයර්ලන්තයට එරෙහි තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් කුසල් මෙන්ඩිස් පැවැසීය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී කුසල් මෙන්ඩිස් මේ බව පැවැසීය.

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 140ක් වාර්තා කළ කුසල් මෙන්ඩිස් දෙවැනි ටෙස්ට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ කුළුදුල් ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් වූවේය. එහිදී ඔහු පන්දු 291කදී හයේ පහර 11ක් හා හතරේ පහර 18ක් සමග ලකුණු 245ක් ලැබූ අතර, අන්තර්ගත වූ හයේ පහරවල් 11 ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ද වාර්තා අතර ඉහළින්ම කියවුණි.

මෙන්ඩිස් ගේ පිත්තෙන් වාර්තා වූ හයේ පහර 11 ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඉනිමක වැඩිම හයේ පහරවල් වාර්තා අතර 7 වෙනි ස්ථානයට පත් විය. ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඉනිමක වැඩිම 6 පහර එල්ල කොට ඇත්තේ පාකිස්තානයේ වසීම් අක්‍රම් වන අතර 1996දී සිම්බාබ්වේ පිලට එරෙහිව හයේ පහර 12 ක් වාර්තා කළේය. ඉන් පසුව එක් ඉනිමක වැඩිම හයේ පහර එංගලන්තයේ බෙන් ස්ටෝක්ස්, නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්, ඔස්ට්‍රේලියාවේ මැතිව් හේඩ්න් හා නවසීලන්තයේ නේදන් ඇස්ට්ල් හයේ පහර 11 බැගින් එල්ල කළහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙන්ඩිස් ට පෙර වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කර තිබුණේ බංග්ලාදේශයට එරෙහිව කුමාර් සංගක්කාර වන අතර එම හයේ පහර ගණන 8කි.

“ ඇත්තටම වැඩිම හයේ පහර එල්ල කිරීමේ ලෝක වාර්තාවක් පිහිටුවාද කියා දැන ගත්තේ ක්‍රීඩාගාරයට ගිය පසුවයි. අපට අවශ්‍ය වුණේ කණ්ඩායම වෙනුවෙන් ඉක්මණින් ලකුණු ලබාගෙන යළි දෙවැනි ඉනිමට අයර්ලන්තය පන්දුවට පහරදීමට කැදවන්නයි. මා පිටියට එනවිට ආරම්භක පිතිකරුවන් හොදින් පන්දුවට පහරදීලා බෝලය පරණ වෙලා තිබුණේ. දිමුත් – නිශාන් හොදින් ලකුණු ලබාගෙන තිබුණ නිසා මට පහසු වුණා ලකුණු අතරට එන්න. පිටියට එද්දීම මගේ කාර්යභාරය කුමක්ද කියා පුහුණුකරු හා නායකයා අවබෝධ කොට දී තිබුණා. ඒ අනුව තමයි මම ක්‍රීඩා කළේ. ඒ උපදෙස් අනුව කණ්ඩායමට අවශ්‍ය දේ ඉටු කළා. කණ්ඩායමට අවශ්‍ය දේ දෙන්න හැම වේලාවෙම උත්සහ කරනවා. අයර්ලන්තයට එරෙහි ද්විත්ව ශතකය පිළිබඳව සතුටුයි“ කුසල් මෙන්ඩිස් පැවැසීය.

“ ටෙස්ට් තරගවලට අමතරව මා එක්දින හා විස්සයි 20 තරගවලට ක්‍රීඩා කරන නිසා ගොඩක් මහන්සි වෙනවා. පුහුණුවීම් වෙනුවෙන් උපරිම කැපවීමක් ලබා දෙනවා. ටෙස්ට් තරග රටාව අනෙක් සියලු අංශවලට වඩා වෙනස්. අපට මෙයට වඩා ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වුණොත් හොදයි. මේ වසරේ අපට ක්‍රීඩා කරන්න තියෙන්නේ ටෙස්ට් තරග 4ක් 5ක් වගේ සුළු ප්‍රමාණයක්. අනෙක් රටවල් ටෙස්ට් තරග 12ක් 15ක් විතර අවුරුද්දකදී ක්‍රීඩා කරනවා. ඒ නිසා ඔවුන්ට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබෙනවා. ටෙස්ට් තරග රටාව වෙනස් නිසා තරග ගොඩක් තියෙනවා නම් හොදයි. අපේ පන්දු යවන්නන්ට ඒක ගොඩක් වැදගත්. ඔවුන්ගේ පන්දු යැවීමේ දක්ෂතා වැඩි ටෙස්ට් තරග ප්‍රමාණයකට ක්‍රීඩා කිරීමෙන් දියුණු මට්ටමකට පැමිණෙනවා“ කුසල් මෙන්ඩිස් සදහන් කළේය.

“ ක්‍රීඩකයෙකුට හොද කාලයක් මෙන්ම, නරක කාලයක් යන දෙකම එන්න පුලුවන්. නමුත් මට අමාරු කාලයේදී කණ්ඩායමේ හැමෝම උදව් කළා. ලකුණු අතර නැති වේලාවේදීත් මාව ඩ්‍රොප් නොකර තරග දුන්නා. ඒකෙන් මගේ විහ්වාසය ක්‍රමයෙන් ඇති වුණා. ඒ දේ කරපු එක හොද වුණා. යම් ක්‍රීඩකයෙකු ලකුණු අතර නැති වුණාම හැමෝම උදව් කළ යුතුයි. දැන් මට මගේ කණ්ඩායම වෙනුවෙන් බොහෝ දේ කළ හැකි බවට විශ්වාසය ගොඩනැගී තිබෙනවා. මා දැන් සිටින තැනින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. රටට ජයග්‍රහණ ගේන්න මගේ උපරිම දායකත්වය ලබාදිය හැකියි. වෙනදාට වඩා දැන් හැම දෙයක්ම තේරෙනවා“ කුසල් මෙන්ඩිස් සදහන් කළේය.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest