slc
logo
Home   |    News
අප්‍රේල් 2, 2023
ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයේදී ජය ගනියි

sinhala editor

සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු ඔක්ලන්ඩ්හි පැවැති පළමු විස්සයි-20 තරගයෙන් නවසීලන්තයට එරෙහිව ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ලකුණු 196 ක් හඹා ගිය නවසීලන්ත පිලේ ඉෂ් සෝධි අවසන් පන්දුවට එල්ල කරන ලද හයේ පහරත් සමඟ තරගය සමවූ නමුත් අවසන් සුපිරි පන්දුවාරයේදී පන්දු 3 කට ලකුණු 12 ක් ලබා ගත් චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් තරගයේ ජයග්‍රහණය පමණක් නොව තරගාවලියද 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට රැගෙන ආහ.

‌මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී සුපිරි පන්දුවාරය යැවූ මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් දවා ගනිමින් පන්දුවාරය ලකුණු 08 කට සීමා කළේය. අනතුරුව පිතිහරඹය ඇරැඹි ශ්‍රී ලංකා පිලේ කුසල් මෙන්ඩිස් පළමු පන්දුවේදී එක් ලකුණක් ලබා ගත් අතර දෙවැනි පන්දුවාරය යැවූ ඇඩම් මිලින්ට හයේ පහරක් එල්ල කළේය. තෙවැනි පන්දුව කඩුලු රකින්නාට ඉහළින් හතරේ සීමාවට යැවීමට අසලංක සලස්වද්දී එය එය නිපන්දුවක් ලෙසින්ද සටහන් වීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 5 ක් හිමිවිය. ඒ අනුව සුපිරි පන්දුවාරයේ පන්දු 4 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටි අතර ටොම් ලේතම් සිතූ පරිදිම පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක දැවී ගියේය. කලකට පසු පිටියට පිවිසි කුසල් පෙරේරා කුසල් මෙන්ඩිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 19 කදී ලකුණු 47 ක් රැස් කළහ. එම වේගවත් පිති හරඹය නිසා අධිවේගී පන්දුවාර 6 අවසන් වන විට ශ්‍රී ලංකාවට ලකුණු 72 ක් ලබා ගැනීමට හැකිවිය. එහෙත් එම පන්දුවාර 6 දී කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා‌ගේ කඩුලු දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

කෙසේ වෙත්ත කුසල් පෙරේරාට එක් වුණු චරිත් අසලංක ශ්‍රී ලංකා පිලට අවශ්‍ය සම්බන්ධතාව ගොඩ නැංවූහ. ලකුණු 103 සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව සඳහා ඔවුන් වැය කර තිබුණේ පන්දු 68 ක් පමණි.

ඒ අතරතුරදී පන්දු 41 කට මුහුණ දුන් චරිත් අසලංක හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 67 ක් ලබා තරගයේ වීරයා සම්මානයට පාත්‍රවීමට තරම් දක්ෂතාවක් දැක්වීය. වසර එකහමාරකින් පසු නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසි කුසල් පෙරේරා තම අන්තය ආරක්ෂා කර ගනිමින් ලකුණු 53 ක් රැස් කළේ පන්දු 45 කට ක්‍රීඩා කරමිනි. හයේ පහරක් සහ හතරේ පහර 4 ක් එල්ල කළ වමත් කස කරුවා ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර 20 ම අවසන් වන තෙක් තම කඩුල්ල ආරක්ෂා කර ගත්තේය. මැද පෙළින් පැමිණි වනිඳු හසරංග හයේ පහර 2 ක් සමග පන්දු 11 කදී ලකුණු 21 ක් ලබා ගත්තේ සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමිනි.

රශින් රවීන්ද්‍රන් විසින් එල්ල කරන ලද අනපේක්ෂිත වේගවත් ඉනිම නිසා ලකුණු 196 ක ඉලක්කය ආසන්නයට පැමිණීමට නවසීලන්ත පිලට හැකියාව ලැබිණ. පන්දු 13 කදී ලකුණු 26 ක් ලබා ගැනීමට රවීන්ද්‍ර සමත් වීම නිසා අවසන් පන්දු 6 දී නවසීලන්ත පිලට අවශ්‍ය වූයේ ලකුණු 13 ක් පමණි. දසුන් ශානකය යැවූ එම පන්දුවාරයේ පළමු පන්දුවේදී රවීන්ද්‍ර දැවී ගියත් අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට ඉස් සෝධි සමත්වීමත් නිසා දෙපිළේම ලකුණු සමව තරගය නිමාවට පත්විය. එම හයේ පහරත් සමග නවසීලන්ත ලකුණු පුවරුව කියැවුණේ පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 196 ක් ලෙසිනි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය ලබන අප්‍රේල් මස 05 වැනිදා ඩනඩෙින් හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණ 196 යි – (චරිත් අසලංක 67, කුසල් පෙරේරා 53*, කුසල් මෙන්ඩිස් 25, ධනංජය ද සිල්වා 15, වනිඳු හසරංග 21*, ජේම්ස් නිශම් 30/2, ඇඩම් මිලින් 42/1, බෙන්ජමින් ලිස්ටර් 43/1, හෙන්රි ශිප්ලි 43/1)

නවසීලන්තය පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 196 යි – (ඩැරල් මිචෙල් 66, ටොම් ලේතම් 27, මාර්ක් චැප්මන් 33, ජේම්ස් නීශම් 19, රශින් රවීන්ද්‍ර 26, ඉෂ් සෝධි 10*, වනිඳු හසරංග 30/2, දසුන් ශානක 20/2, ප්‍රමෝද් මදුශාන් 37/2, මහීෂ් තීක්ෂණ 22/1, ඩිල්ෂාන් මදුශංක 45/1)

Active filters

Recent Posts

  •  කෝල්ට්ස් පිළ ලකුණු 145 කින් බී.ආර්.සී. පරදවයි
     කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 145ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන […]
  • නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය සම වෙයි
    සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොවැම්ඊබර්යේ 10 වැනිදා දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් […]
  • අභිනව ටී-10 තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම ඇරඹෙයි
    පළමු වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය (Player Draft)මේ වන විටත් ආරම්භ වී තිබේ. ලංකා ටී-10 සුපර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක […]
  • ඒස් කැපිටල් කාන්තා කණ්ඩායමට ලකුණු 199ක ජයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන කාන්තා ප්‍රධානතම අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 199කින් ටැමිල් යුනියන් පරාජයට පත් […]
  • පළමු විස්සයි20 ගැටුමෙන් ශ්‍රී ලංකාවට ජය
    සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් ශ්‍රී ලංකා පිල හිමිකර ගත්තේය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee