එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලීය යටතේ ජුනි 13 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැති පෙරහුරු තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
සිම්බාබ්වේ, බුලවායෝහි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 214 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එම ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායම 38 වැනි පන්දුවාරයේදී සපුරා ගත්තද කඩුලු 7 ක් ඒ අතරතුර ප්‍රතිවාදී පන්දු යවන්නෝ දවා ගැනිමටසමත්වූහ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 45.3 කදී කුණු 214 කට සීමා කිරීමට කසුන් රජිත ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. නෙදර්ලන්ත පිල එම ලකුණු සංඛ්‍යාව නවතාලීම සදහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සහයෝග ලබා ගත් අතර ඒ අතරින් කසුන් රජිත ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ඊට අමතරව මහීෂ් තීක්ෂණ සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. මෙම තරගයේදී මතිෂ පතිරණ පන්දුවාර 5.3 ක් ක්‍රියාත්මක කළ අතර එහිදි පන්දුවාරයකට ලකුණු 8 ක වේගයක් සමඟින් ලකුණු 44 ක් රැස් කර ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.
ඉලක්කය හඹා යෑමේදී පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් අතරින් පැතුම් නිස්සංක කුණු 10 කට දැවී ගියත් දිමුත් කරුණාරත්න ලකුණු 47 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 27 ක් ලබා ජයග්‍රහණය සඳහා අඩිතාලම එක් කළහ. සදීර සමරවික්‍රම (00) සහ ධනංජය ද සිල්වා (03) අඩු ලකුණු වලට දැවී යෑම නිසා ශ්‍රී ලංකාව තරමක පසුබෑමක් පෙන්නුම් කළත් අංක 7 පිතිකරුවා ලෙසින් පැමිණි දසුන් ශානක හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමඟින් පන්දු 52 කදී නොදැවී ලකුණු 67 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඊට චරිත් අසලංක ලකුණු 29 කිනුත් චාමික කරුණාරත්නද ලකුණු 16 කින් සම්මාදම් වුහ.
මෙම පෙරහුරු තරග මාලාව යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ඇමරිකා එක්සත් ජනපද කණ්ඩඩායම සමඟ ජුනි ්‍ර5 වැනිදා බුලවායෝහිදී පැවැත්වේ.
නෙදර්ලන්තය පන්දුවාර 45.3 කදි සියලු දෙනා දැවී ලකුණු 214 යි – (සකීබ් සුල්ෆිගාර් 56, තේජා නිදමනුරු 41, ස්කොට් එඩ්වර්ඩ්ස් 35, වික්‍රම්ජිත් සිං 12, ශිරාස් අහමඩ් 15, කසුන් රජිත 19/3, මහීෂ් තීක්ෂණ 36/2, ධනංජය ද සිල්වා 19/2, චාමික කරුණාරත්න 16/1, මතීෂ පතිරණ 44/1, ළහිරු කුමාර 33/1)
ශ්‍රී ලංකාව පන්දුවාර 37.1 කදී කඩුලු 7 ට ලකුණු 215 යි – (දසුන් ශානක 67*, චරිත් අසලංක 29, කුසල් මෙන්ඩිස් 27, දිමුත් කරුණාරත්න 47, පැතුම් නිස්සංක 10, චාමික කරුණාරත්න 16, දුෂාන් හේමන්ත 09, ක්ලේටන් ෆොලොයිඩ් 40/2)