ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේදී සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහි පැවැති තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබන ඔක්තෝම්බර් මසදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද (02 දා) සමත්වූහ. සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයේදී ශ්‍රී ලංකාවට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එක් තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණත් ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 08ක් සහ 1.817 ක ශුද්ධ දළ ලකුණු වේගයක් රඳවා ගැනීමට සමත්වීම නිසා වේලාසනම ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් බවට පත්ව සිටියි.
මෙතෙක් තරගාවලියේ හොඳම පිතිකරුවන් සිටින කණ්ඩායම ලෙස සිම්බාබ්වේ කණ්ඩායමත් හොඳම පන්දු යවන්නන් සිටින කණ්ඩායමත් සලකනු ලැබීම නිසා බොහෝ දෙනාගේ අවධානය යොමුවුණු තරගයක් බවට අද තරගය පත්විය. අද තරඟය වනතෙක් අපරාජිතව සිටි සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කර එම ජයග්‍රහණය සමගින් 2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ ස්ථානය ද තම නම ඉදිරියෙන් ලියා ගැනීමට දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද සමත්වූහ.
මහීෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුශංකගේ පන්දු යැවීමේ දක්ෂතා නිසා පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165 කට සීමා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවුණු අතර එම ඉලක්කය හඹා යෑමේදී පන්දු වාර 33.1 පන්දුවක් තුළදී පැතුම් නිශ්ශංක ප්‍රධාන ශ්‍රී ලංකා පිතිකරුවෝ එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකළහ. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ ක්‍රීඩා කරන ලද සෑම තරගයකදීම එකම කණ්ඩායමකට හෝ ලකුණු 200 ඉලක්කය පසුකර යෑමට අවස්ථාව ලබා නොදීමද පන්දු යැවීමේ ශක්තිය කැපී පෙනෙන ප්‍රධාන සාධකයකි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා නායකයාගේ තීරණයට සාධාරණයක් එක් කිරීමට සමත් වූ පන්දු යවන්නෝ තරගාවලිය තුළ වඩාත් ප්‍රබල පිතිකරණ ලැයිස්තුවකින් සමන්විත ව සිටි සත්කාරකයන්ගේ ඉනිම පන්දු වාර 32.2කදී ලකුණු 165කට සීමා කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 101 ක් ලබා ගත් අතර තරගයේ ජයග්‍රහණය සඳහා 1 ලකුණක් අවශ්‍යව තිබියදී ලකුණු 97 රැදී සිටි පැතුම් හතරේ පහරක් එල්ල කරමින් තම ශතකය සම්පූර්ණ කර ගත්තේය. තම දෙවැනි එක්දින අන්තර්ජාතික ශතකය ලෙසින් සටහන් වුණු පැතුම්ගේ එම ඉනිම සදහා හේ පන්දු 102 කට මුහුණ දී තිබුණේ ඊට හතරේ පහර 14 ක් ද ඇතුළත් කරමිනි.
හඹා යෑමට සාර්ථක අඩිතාලමක් එක් කළ පැතුම් සහ දිමුත් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවයක් ගොඩනැඟුණි. දිමුත් ලකුණු 30 කට දැවී ගිය අතර අනතුරුව පැමිණි කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 24 ක් ලබා ගත්තේය. මෙම තරගය මීට කළින් නිමාවට පත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවුවත් පැතුම් නිස්සංකට ශතකය වාර්තා කර ගැනීම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු ලබා ගන්නවාට වඩා, වැඩි අවස්ථාවකදී පන්දුවට පහර දීමට පැතුම් අවස්ථාව සලසා දුන්නේය.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව විශිෂ්ටතම පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ මහීෂ් තීක්ෂණ ඔවුන්ගේ පිතිහරඹ ලයිස්තුවේ අංක එකේ පිතිකරුවා බවට පත් ව තරගාවලියේ ලකුණු 500 ඉක්මවා සිටි ශෝන් විලියම්ස් ගේ කඩුල්ල තුළටම පන්දුව යවමින් තරඟය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට දෙවනි ආරම්භය ලබා ගත්තේය.
පලමු පන්දුවාර 7 අවසන් වන විට සිම්බාබ්වේ අංක 1,2 සහ 3 පිතිකරුවන් සියලු දෙනාගේ කඩුලු තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ සමත් වූ අතර එම කඩුලු 3 ට සිම්බාබ්වේ නායක ක්‍රේග් අර්වින් ගේ කඩුල්ල ද ඇතුළත් වූයේය. එය තරගය ශ්‍රී ලංකාව දෙසට හරවා ගත් පළමු අවස්ථාව විය.
ලකුණු 165 කට සීමා වූ සිම්බාබ්වේ ලකුණු පුවරුවේ අනෙක් ඉහළම ලකුණු ලාභියා වූ සිකන්දර් රාසා ගේ කඩුල්ල ලකුණු 31 කට දවා ගැනීමට නායක දසුන් ශානක සමත් වූයේය. මහීෂ් තීක්ෂණ පන්දු වාර 8.2 කදී ලකුණු 25 කට කඩුලු 4 ක් දවා ගත්තේ සිම්බාබ්වේ පිතිකරුවන් අන්ද මන්ද කරමිනි. ඩිල්ශාන් මධුසංඛ පන්දු වාර 5 ක් පමණක් ක්‍රියාත්මක කරමින් සිය කඩුලු 3 දවා ගත් අතර මතීෂ පතිරණ ලකුණු 18 කට කඩුලු 2 ක් දවා ගත්තේය. මෙම දක්ෂතාව නිසා තරගයේ වීරයා සම්මානයෙන්ද මහීෂ් පිදුම් ලැබුවේය.
සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 30 ක් තුළ බිද වැටුණු අතර සිකන්දර් රාසා හා ශෝන් විලියම්ස් සිව්වැනි කඩුල්ලට ලකුණු 68 (81) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුහ. පිටියට ආ විගස විලියම්ස් දවා ගැනීම වෙනුවෙන් අවස්ථාවක් හිමි වුවත් ළහිරු කුමාර වෙනුවට කණ්ඩායමට ආ මතීෂ පතිරණ අතින් එම උඩ පන්දුව ගිලිහී ගියේය. ඩිල්ෂාන් මදුශංකගේ පන්දුවකට විලියම්ස් එම පහර එල්ල කරන විට ලකුණු 15 ක් රැස් කරගෙන සිටියේය. කෙසේ වෙතත් ඉන් වාසි ලබා ගත් වමත් පිතිකරුවා පන්දු 57 කින් ලකුණු 56 ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව සුපිරි 6 වටේ යටතේ සහභාගීවන අවසන් තරඟය ලබන 7 වෙනිදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වේ.
සිම්බාබ්වේ පන්දුවාර 32.2 කදී සියලු දෙනා දැවී ලකුණු 165 යි – (ශෝන් විලියම්ස් 56,සිකන්දර් රාසා 31, මහීෂ් තීක්ෂණ 25/4,ඩඩිල්ශාන් මධුසංඛ 15/3, මතීෂ පතිරණ 18/2)
ශ්‍රී ලංකාව පන්දුවාර 31.1 කදී කඩුල්ලක් දැවී ලකුණු 169 යි – (පැතුම් නිශ්ශංක 101*, දිමුත් කරුණාරත්න 30, කුසල් මෙන්ඩිස් 25*)