slc
logo
Home   |    News
මාර්තු 25, 2024
ශ්‍රී ලංකාවට ලකුණු 328ක දැවැන්ත ජයක්. රාජිත 56/5යි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය සමඟ සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේදී බංග්ලාදේශය ලකුණු 328ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් පරාජයට පත් කළේ තරගයේ සිව්වන දින සවස 1.30 වන විටය.

සිව්වන දින (25) තරග ආරම්භයේදී සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශය ලකුණු 47කට කඩුලු පහක් දැවී සිටි අතර දිවා ආහාරයෙන් පැයකට පසුව ඉතිරි කඩුලු පහ ද දැවී ගියේ තවත් ලකුණු 135ක් පමණක් එක්වද්දී ලකුණු 182කටය.

බංග්ලාදේශ දෙවන ඉනිමේදී ද දැවී ගිය කඩුලු දහයම දවා ගන්නා ලද්දේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් තිදෙනා වන කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාරය. කසුන් රාජිත දෙවන ඉනිමේදී ලකුණු 56කට කඩුලු පහක් ද විශ්ව ප්‍රනාන්දු ලකුණු 36කට කඩුලු තුනක් ද ළහිරු කුමාර ලකුණු 39කට කඩුලු දෙකක් ද දවාලීමට සමත් වුහ. ප්‍රථම ඉනිමේදී ද මේ වේගපන්දු යවන්නන් තිදෙනාම කඩුලු දහයම දවාලුවේ විශ්ව ප්‍රනාන්දු හතරක් සහ කසුන් රාජිත හා ළහිරු කුමාර කඩුලු තුන බැගින් ද දවාලීමෙනි.

කසුන් රාජිත මේ තරගයේ දෙවන ඉනිමේ කඩුලු පහක් දවාලුවේ දෙවැනි වතාවටත් කඩුලු පහ දවාලීමේ ගෞරවය ද අත්කර ගනිමිනි. දකුණතින් වේගපන්දු යවන 30 හැවිරිදි කසුන් රාජිත ටෙස්ට් තරග 18කට සහභාගි වී ටෙස්ට් කඩුලු 55ක් දවා සිටී. දෙවන ඉනිමේ ලකුණු 56කට දවාලු කඩුලු පහ ඔහුගේ ඉනිමක හොඳම දක්ෂතාවය වන අතර මේ තරගයේදී ලකුණු 112කට දවාලු කඩුලු අට ටෙස්ට් තරගයක ඔහුගේ දක්ෂතම පන්දු යැවීම ද වේ.

මේ ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේදී ලකුණු 102ක් ද දෙවන ඉනිමේදී ලකුණු 108ක් ද රැස් කර ස්ලිප් ක්‍රීඩකයකු ලෙසින් දර්ශනීය උඩපන්දු කිහිපයක්ම රැස්කර ගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කැරිණි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ මෙතෙක් පැවැති තරග 26 අතුරින් මේ වන විට ශ්‍රී ලංකාව තරග 19ක් ද බංග්ලාදේශය තරයක් ද ජයගෙන සිටින අතර තරග පහක් ජයපැරැදුමින් තොරව අවසන්ව තිබේ. බංග්ලාදේශය මේ දක්වාම සිය රටේදී ශ්‍රී ලංකාව සමඟ තරගයක් ජයගෙන නොමැත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා බංග්ලාදේශයේ චිතගොං නගරයේදී පැවැත්වීමට නියමිතය.

තෙවන දින තරගය නතර කරන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 47කට කඩුලු පහක් දැවී සිටි බංග්ලාදේශය අද (25) තරගය නැවත ආරම්භ කිරීමෙන් පසු දිවා ආහාරයට වන විට ලකුණු 129ක් ලබා සිටියේ කඩුලු හතක් බිඳ වැටීමෙන් පසුවය.

තරග ආරම්භයේ සිට දිවා ආහාරය තෙක් ඕවර 25ක් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු දෙකක් දැවී ලකුණු 89ක් රැස් කර ගැනීමට සමත් විණි. මුළු ලකුණු 51ක් වන විට ටයිජුල් ඉස්ලාම් ලකුණු හයකට දැවී ගිය අතර හත්වන කඩුල්ල ලෙස මුළු ලකුණු 117දී මෙහෙඩි හසන් මිරාෂ් ලකුණු 33කට දැවී ගියේය. උදෑසන දැවී ගිය මෙම පිතිකරුවන් දෙදෙනාම දවාලුවේ වේගපන්දු යවන කසුන් රාජිතය.

මෙහෙඩි හසන් මිරාෂ් ලකුණු 33ක් ලබා ගත්තේ පන්දු 50කට මුහුණ දී හතරේ පහර හයක් ද සමඟය.

දිවා අහාරයට වන විට අංක හතර පිතිකරු මොමිනුල් හක් නොදැවී ලකුණු 46ක් රැස් කර සිටියේ පන්දු 112කදී හතරේ පහර හයක් ද එකතුවය. දිවා ආහාරයෙන් පසුව මුළු ලකුණු 164දී බංග්ලාදේශ අටවන කඩුල්ල ලෙස සොරිෆුල් ඉස්ලාම් ලකුණු 12කට දැවී ගියේ කසුන් රාජිතගේ පන්දුවකට පෙරළා ඔහු වෙතටම උඩපන්දුවක් දීමෙනි. මුළු ලකුණු 164දීම කසුන් රාජිතගේ ඊළඟ පන්දුවට කලිඩ් අහමඩ් කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක් දී දැවී ගියේ ලකුණු නොලබාමය.

අවසාන කඩුල්ලට මොමිනුල් හක් සහ නහිඩ් රානා ලකුණු 18ක සබඳතාවයකින් පසු මුළු ලකුණු 182දී ළහිරු කුමාරගේ පන්දුවකට ස්ලිප් ක්‍රීඩක ධනංජය ද සිල්වා උඩපන්දුවක් රැක ගැනීමෙන් රානා ලකුණක්වත් නොලබා දැවී ගියේය. අංක හතර පිතිකරු මොමිනුල් හක් නොදැවී ලකුණු 87ක් ලබා සිටියේ පන්දු 148කදී හතරේ 12ක් හයේ පහරක් සමඟය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව මුල් ඉනිම සියල්ල දැවී 280 (ඕවර 68යි)

ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 16, කලිඩ් අහමඩ් 72/3, නහිඩ් රානා 87/3යි)

බංග්ලාදේශය මුල් ඉනිම සියල්ල දැවී 188 (ඕවර 51.3යි)

(ටයිජුල් ඉස්ලාම් 47, ලිට්න් දාස් 25, කලිඩ් අහමඩ් 22, සහඩට් හොසේන් 18, ෂොරිෆුල් ඉස්ලාම් 15, විශ්ව ප්‍රනාන්දු 48/4, ළහිරු කුමාර 31/3, කසුන් රාජිත 56/3යි)

ශ්‍රී  ලංකාව දෙවන ඉනිම සියල්ල දැවී 418යි (ඕවර 110.4යි)

(කමිඳු මෙන්ඩිස් 164, ධනංජය ද සිල්වා 108, දිමුත් කරුණාරත්න 52, ප්‍රභාත් ජයසූරිය 25, ඇන්ජලෝ මැතිව්ස් 22, මෙහෙඩි හසන් මිරාෂ් 78/4, ටයිජුල් ඉස්ලාම් 75/2, නහිඩ් රානා 128/2, කලිඩ් අහ්මඩ් 46/1)

බංග්ලාදේශය දෙවන ඉනිම සියල්ල දැවී 182 (ඕවර 49.2)

(මොමිනුල් හක් නොදැවී 87, මෙහෙඩි හසන් මිරාෂ් 33,  ෂකිර් හසන් 19, ෂොරිෆුල් ඉස්ලාම් 12, කසුන් රාජිත 56/5, විශ්ව ප්‍රනාන්දු 36/3, ළහිරු කුමාර 39/2යි)

බන්දුල මොල්ලිගොඩ

 

 

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar