slc
logo
Home   |    News
අප්‍රේල් 1, 2024
කමිඳු නොදැවී 92යි ශ්‍රී ලංකාව 531යි

Sri Lanka Cricket

බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 531ක් රැස් කළේ එකම පිතිකරුවකු හෝ ශතකයක් නොලබා ඉනිමක වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ කණ්ඩායම බවට ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් ද බිහි කරමිනි.

මේ වාර්තාව බිහි වීමේදී ලංකා පිතිකරුවන් හයදෙනකුම අර්ධ ශතක රැස් කිරීම විශේෂත්වයකි. එලෙස අර්ධ ශතක රැස් කළේ කුසල් මෙන්ඩිස් (93) කමිඳු මෙන්ඩිස් (නොදැවී 92) දිමුත් කරුණාරත්න (86) ධනංජය ද සිල්වා (70) දිනේෂ් චන්දිමාල් (59) නිශාන් මධුෂ්ක (57) යන පිතිකරුවෝය. මෙයින් කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්නට (86) ශතක අහිමිව ගියේ අවාසනාවන්ත අයුරිනි.

මීට පෙර ටෙස්ට් කණ්ඩායමක පිතිකරුවකු ශතකයක් නොලබා ලකුණු පන්සියය ඉක්ම වූ අවස්ථාව වූයේ ඉන්දියාව එක්දහස් නවසිය හැත්තෑව දශකයේදී කාන්පුර්හිදී නවසීලන්තය සමඟ ලකුණු පන්සියය ඉක්ම වූ අවස්ථාවයි. එහෙත් මෙවර ශ්‍රී ලංකා පිතිකරුවන් එම වාර්තාව ද අභිබවා ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා රැස් කළ ලකුණු 531ට පිළිතුරු ලෙස දෙවන දින තරගය නිම වන විට බංග්ලාදේශය කඩුල්ලකට ලකුණු 55ක් ලබා ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 476ක් පිටුපසින් සිටියේ තවත් කඩුලු නවයක් අතැතිවය. බංග්ලාදේශයේ ෂකිර් හසන් නොදැවී ලකුණු 28ක් ලබා සිටියේය. මෙදින දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ළහිරු කුමාර ඕවර හතරක් යවා ඉන් ඕවර තුනකටම ලකුණක්වත් නොදී ලකුණු හතරකට කඩුල්ලක් දවාලීය.

දෙවන දිනය පුරාම කණ්ඩායම් දෙකේම කඩුලු හතරක් දැවී පිතිකරුවන් රැස් කළේ ලකුණු 272ක් පමණකි.

කණ්ඩායම් දෙක අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 328ක පහසු ජයක් අත්කර ගත්තත් එම ඉනිම දෙකේදීම ලංකා ඉදිරි පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට අවස්ථාව නොලැබිණි. ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් දෙවන ටෙස්ට් තරගයේදී සාර්ථක වීම මත ඔවුනට පහසුවෙන් ලකුණු පන්සියය ඉක්මවීමේ අවස්ථාව ද උදා විණි.

ලංකා කණ්ඩායමේ කමිඳු  මෙන්ඩිස්ට මේ ඉනිමේදී ලෝක වාර්තාවකට යාමට තිබු අවස්ථාව ගිළිහී ගියේ යන්තමිනි. මීට පෙර ඉන්දියාවේ මොහමඩ් අසරුදීන් ඔහු සහභාගි වූ ප්‍රථම ටෙස්ට් ඉනිම හතරෙන් තුනකදී ශතක ලබා තිබු ලෝක වාර්තාව බිඳීමට කමිඳු මෙන්ඩිස් හට අද (31) ශ්‍රී ලංකා ඉනිමේදී ලකුණු සියයක් අවශ්‍ය වුවත් ලංකා ඉනිම නිම වන විට ඔහු නොදැවී ලකුණු 92ක් ලබා සිටි අතර අනෙක් කෙළවරේ පිතිකරුවන් සියල්ල දැවී ගොස් තිබිණි.

තරගයේ දෙවන දිනය වූ අද (31) උදෑසන සිට දිවා ආහාරය තෙක් කාලය තුළ ලංකා කණ්ඩායම ඕවර 28කට මුහුණ දී කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 97කි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලංකා පිල කඩුලු පහකට (ඕවර 118කදී) ලකුණු 411ක් ලබා ප්‍රබල තත්ත්වයක පසු විය.

ප්‍රථම දින තරගය නිම වන විට නොදැවී ලකුණු 34ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් සහ නොදැවී ලකුණු 15ක් ලබා සිටි නායක ධනංජය ද සිල්වා මෙදින දිවා ආහාරයට පෙර සිය අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විණි. එහිදී චන්දිමාල් සිය 26 වන අර්ධ ශතකයත් ධනංජය ද සිල්වා 14 වන අර්ධ ශතකයත් වාර්තා කළහ.

ධනංජය ද සිල්වාගේ සහ දිනේෂ් චන්දිමාල්ගේ පස්වන කඩුල්ලේ සබඳතාව වූයේ පන්දු 98කදී ලකුණු 86කි. දිවා ආහාරයට පෙර දැවී ගිය උදයවරුවේ එකම කඩුල්ල වූයේ දිනේෂ් චන්දිමාල් මුළු ලකුණු 375දී ෂකිබ් අල් හසන්ගේ පන්දුවකට දිනේෂ් චන්දිමාල් පහරක් එල්ල කිරීමට යාමේදී  කඩුලු රකින ලිට්න් දාස් උඩපන්දුවක් රැක ගැනීමෙන්ය.

දිනේෂ් චන්දිමාල් පන්දු 104කට මුහුණ දී හතරේ පහක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 59ක් රැස් කළහ. දිවා ආහාරයට වන විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 70ක් ද කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියහ. ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේදී සහ දෙවන ඉනිමේදී දීර්ඝ සබඳතා පැවැත් වූ නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් මේ ඉනිමේ හයවන කඩුල්ලට එක් කළේ ලකුණු 36කි. (පන්දු 79යි)

දිවා ආහාරයෙන් පසු ප්‍රථම ඕවරය යවන ලද්දේ වේගපන්දු යවන කලිඩ් අහමඩ්ය. එම ඕවරයේ තෙවන පන්දුවට ධනංජය ද සිල්වා කඩුල්ල මුවා කිරීමේ වරදට මුළු ලකුණු 411දීම දැවී ගියේ ලකුණු 70කටය. ධනංජය පන්දු 111දී හතරේ පහර හයක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 70ක් මේ ඉනිමේදී ද රැස් කිරීමට සමත් විය. සවස තේ පානයට ඕවර 2.1ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්වන කඩුල්ල මුළු ලකුණු 476දී දැවී ගියේ දඟපන්දු යවන ෂකිබ් අල් හසන්ගේ පන්දුවකට ප්‍රභාත් ජයසූරිය ලකුණු 28ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි.

ප්‍රභාත් ජයසූරිය දැවී යන විට පන්දු 75කට මුහුණ දී හතරේ පහර තුනක් සමඟ ලකුණු 28ක් ලබා සිටියේය. මේ වන විට කමිඳු මෙන්ඩිස් තවත් වාරයක් තම වගකිම් ඉටු කරමින් පන්දුවට පහර දෙමින් සිටියේ සවස තේ පානය වන විට පන්දු 112කට මුහුණ දී හතරේ පහක් සමඟ නොදැවී ලකුණු 54ක් රැස් කර ගෙනය.

සවස තේ පානයෙන් පසුව කමිඳු මෙන්ඩිස් කණ්ඩායමේ අගපෙළ පිතිකරුවන් සමඟ එක්ව තවත් ලකුණු 55ක්  එක් කරද්දී විශ්ව ප්‍රනාන්දු (11) ළහිරු කුමාර (06) සහ අසිත ප්‍රනාන්දු (00) දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් ලබා සිටියේය.

විශ්ව ප්‍රනාන්දු  (11) සහ අසිත ප්‍රනාන්දු (00) දුවද්දී දැවීම්වලට හසුව ද ළහිරු කුමාර මෙහෙඩි හසන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ද දැවී ගියහ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම සියල්ල දැවී 531 (ඕවර 159යි)

(කුසල් මෙන්ඩිස් 93, කිමිඳු මෙන්ඩිස් නොදැවී 92, දිමුත් කරුණාරත්න 86, ධනංජය ද සිල්වා 70, දිනේෂ් චන්දිමාල් 59, නිශාන් මධුෂ්ක 57, ප්‍රභාත් ජයසූරිය 28, ඇන්ජලෝ මැතිව්ස් 23, ෂකිබ් අල් හසන් 110/3, හසන් මහ්මුඩ් 92/2යි)

බංග්ලාදේශය ප්‍රථම ඉනිම කඩුලු 1ට 55 (ඕවර 15යි)

(ෂකින් හසන් නොදැවී 28, මහ්මඩුල් හසන් ජෝයි 21, ළහිරු කුමාර 4/1යි)

 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee