ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන හා අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දින (02) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේ සහ තරග දෙකක තරගාවලියේ ජයග්‍රහණය අභිමුව පසු විණි.
දැන් පැවැත්වෙන දෙවන තරගයෙන් ජය ලැබීමට නම් බංග්ලාදේශය දැනට ඉතිරිව සිටින අගපෙළ අවසාන පිතිකරුවන් තිදෙනා සමඟ තවත් ලකුණු 243ක් අවශ්‍ය වන අතර එය බලාපොරොත්තු විය නොහැකි සිදුවීමක් වන හෙයින් දිවා ආහාරයට පෙර අවසාන දිනයේ (03) විශාල ලකුණු සංඛ්‍යාවක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට අපේක්ෂා කළ හැකි වේ.
බංග්ලාදේශ දෙවන ඉනිමේ නව පන්දුව තවත් ඕවර 13කින් ලැබීමට නියමිත අතර ඊට පෙර තරගය නිම වනු ඇතැයි බොහෝ දුරට අපේක්ෂිතය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිම කඩුලු හතකට ලකුණු 157ක් ලෙස පවතිද්දී ඉනිම නවතා බංග්ලාදේශයට අද (02) දිවා ආහාරයට පෙර පැයක සිට බදාදා (03) සවස් වනතුරු ලකුණු 511ක් ලබා ජයගන්නා ලෙසට අභියෝගයක් ලබා දුන්නත් ඔවුනගේ ප්‍රබලම පිතිකරුවන් හයදෙනා මුළු ලකුණු 197 වන විට දැවී ගොස් තිබිණි.
බංග්ලාදේශ ප්‍රථම ඉනිමට වඩා ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමේදී ලකුණු 353කින් ඉදිරියෙන් සිටි අතර ඉනිමක පරාජයෙන් බේරීමට බංග්ලාදේශ කණ්ඩායම නැවත දෙවන ඉනිම සඳහා පිටියට නොයවා ශ්‍රී ලංකාව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදී කඩුලු 7කට ලබා ගත්තේ ලකුණු 157කි. මෙහිදී ලංකා පිතිකරුවන් කිහිපදෙනකු අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යද්දී 36 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 74කදී හතරේ පහර පහක් සමඟ ලකුණු 56ක් රැස් කරමින් ලංකා දෙවන ඉනිම ස්ථාවර කිරීමට මුල් විණි.
මේ ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ තෙවන දිනය දක්වාම වේගපන්දු යවන්නන්ට තණතිලි සහය දුන්නත් අද (02) දැවී ගිය බංග්ලාදේශ පිතිකරුවන් හත්දෙනාගෙන් සිව්දෙනකුම දවාලුවේ ප්‍රභාත් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් යන දඟපන්දු යවන්නන් දෙදෙනාය.
ලංකා වේගපන්දු යවන්නන් ටෙස්ට් තරගාවලියක මෙතරම් කඩුලු සංඛ්‍යාවක් දවාලු ප්‍රථම අවස්ථාව මෙය ලෙස වාර්තා ගත වේ. කමිඳු මෙන්ඩිස් ලකුණු 22කට කඩුලු දෙකක් ද ප්‍රභාත් ජයසූරිය ලකුණු 79කට කඩුලු දෙකක් ද මේ වන විට දවා සිටී.
තෙවන දින තරගය නතර කරන විට කඩුලු හයක් දැවී ලකුණු 102ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) තරගය නැවත ආරම්භ කිරීමෙන් පසුව තම ඉනිම පවත්වාගෙන ගියේ තවත් ඕවර 15ක් (පැයක කාලයක්) පමණකි. මේ කාලය තුළ දැවී ගිය එකම පිතිකරුවා වූයේ ලකුණු 56ක් රැස් කර තම 41 වන ජාත්‍යන්තර අර්ධ ශතකය ලැබු ඇන්ජලෝ මැතිව්ස් මෙදින උදෑසන ෂකිබ් අල් හසන් යැවු එකොළොස්වන ඕවරයේ දෙවන පන්දුව කඩුල්ලේ වැදී ලංකා කණ්ඩායමේ හත්වන කඩුල්ල ලෙස මුළු ලකුණු 132දී දැවී ගියේය. මැතිව්ස් පන්දු 74කට මුහුණ දී හතරේ පහර පහක් එල්ල කර තිබිණි.
ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 157ක් ලබා සිටියදී තම දෙවන ඉනිම නතර කර බංග්ලාදේශයට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට අවස්ථාව දුන්නේ දිවා ආහාරයට පැයකට කලිනි. ලංකා කණ්ඩායමේ නොදැවී සිටි පිතිකරුවන් දෙදෙනා වූයේ ප්‍රභාත් ජයසූරිය (නොදැවී 28 පන්දු 67යි හතරේ දෙකයි) සහ විශ්ව ප්‍රනාන්දුය. (නොදැවී ලකුණු 08යි පන්දු 16යි)
දෙවන ඉනිමේදී දිවා ආහාරය තෙක් ඕවර අටක් තුළ කිසිවකු නොදැවී බංග්ලාදේශය ලකුණු 31ක් ලබා සිටියේය. එහිදී මහ්මඩුල් හසන් ජෝයි නොදැවී 19ක් ද ෂකීර් හසන් නොදැවී ලකුණු 11ක් ද ලබා සිටියහ.
දිවා ආහාරයේ සිට සවස තේ විවේකය තෙක් ඕවර 26ක් තුළ බංග්ලාදේශය ලකුණු 101ක් රැස් කරන විට කඩුලු හතරක් ද බිඳ වැටිණි.
දැවී ගිය එම පිතිකරුවන් සිව්දෙනා වූයේ ලකුණු 24ක් රැස් කළ මහ්මඩුල් හසන් ජෝයි (පන්දු 32යි හතරේ තුනයි) ලකුණු 19ක් රැස් කළ ෂකීර් හසන් (පන්දු 39යි හතරේ දෙකයි) ලකුණු 20ක් රැස් කළ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ (පන්දු 55යි හතරේ දෙකයි) සහ ලකුණු 50ක් රැස් කළ මොමිනුල් හක් (පන්දු 56යි හතරේ අටයි) වෙති.
එම කාලය තුළ ප්‍රභාත් ජයසූරිය ලකුණු 31කට කඩුලු දෙකක් ද ළහිරු කුමාර ලකුණු 18කට කඩුල්ලක් ද විශ්ව ප්‍රනාන්දු ලකුණු 21කට කඩුල්ලක් ද දවා තිබිණි. සවස තේ පානය වන විට ෂකිබ් අල් හසන් නොදැවී ලකුණු 14ක් සහ ලිට්න් දාස් නොදැවී ලකුණු ලබා ද කඩුල්ලේ රැඳී සිටියහ.
මෙදින ඔවුනගේ හොඳම සබඳතාව වූයේ පස්වන කඩුල්ලට ෂකිබ් අල් හසන් සහ ලිට්න් දාස් ඕවර 16.1කදී රැස් කළ ලකුණු 61 වේ. ෂකිබ් අල් හසන් මුළු ලකුණු 193දී කමිඳු මෙන්ඩිස්ගේ පන්දුවකට නිශාන් මධුෂ්ක උඩපන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේ ලකුණු 36කටය. (පන්දු 53යි හතරේ තුනයි)
ඉනිම කිහිපයකට පසුව ලකුණු අතරට පැමිණි ලිට්න් දාස් මෙදින පන්දු 74කදී හතරේ හතරක් සමඟ ලකුණු 38ක් ලබා සිටියදී (මුළු ලකුණු 197දී) වේගපන්දු යවන ළහිරු කුමාරගේ කඩුල්ලෙන් ඈතට යන පන්දුවකට එළවා පහරදීමට යාමෙන් කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක් දී දැවී ගියේ අනවශ්‍ය අයුරිනි.
හත්වන කඩුල්ලට සහඩට් හොසේන් සහ මෙහෙඩි හසන් ලකුණු 46ක් රැස් කළ අවස්ථාවේදී මුළු ලකුණු 243 කමිඳු මෙන්ඩිස් සිය දෙවන ටෙස්ට් කඩුල්ල දවා ගත්තේ සහඩට් හොසේන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමෙනි. සහඩට් පන්දු 34කදී හතරේ දෙකක් සමඟ ලකුණු 15ක් ලැබීය.
මෙදින තරගය නතර කරන විට මෙහෙඩි හසන් මිරාෂ් නොදැවී ලකුණු 44ක් ද (පන්දු 49යි හතරේ හතයි) ටයිජුල් ඉස්ලාම් නොදැවී ලකුණු දහයක් ද ලබා සිටියහ. මොවුන් දෙදෙනාගේ අටවන කඩුල්ලේ සබඳතාව පන්දු 52කදී නොදැවී 25කි.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම සියල්ල දැවී 531 (ඕවර 159යි)
(කුසල් මෙන්ඩිස් 93, කමිඳු මෙන්ඩිස් නොදැවී 92, දිමුත් කරුණාරත්න 86, ධනංජය ද සිල්වා 70, දිනේෂ් චන්දිමාල් 59, නිශාන් මධුෂ්ක 57, ප්‍රභාත් ජයසූරිය 28, ඇන්ජලෝ මැතිව්ස් 23, ෂකිබ් අල් හසන් 110/3, හසන් මහ්මුඩ් 92/2යි)
බංග්ලාදේශය ප්‍රථම ඉනිම සියල්ල දැවී 178 (ඕවර 68.4යි)
(සකීර් හසන් 54, මොමිනුල් හක් 33, ටයිජුල් ඉස්ලාම් 22, මහ්මඩුල් හසන් ජෝයි 21, ෂකිබ් අල් හසන් 15, අසිත ප්‍රනාන්දු 34/4, ළහිරු කුමාර 19/2, විශ්ව ප්‍රනාන්දු 38/2, ප්‍රභාත් ජයසූරිය 63/2යි)
ශ්‍රී ලංකාව දෙවන ඉනිම කඩුලු 7ට 157 (ඕවර 40)
(ඇන්ජලෝ මැතිව්ස් 56, නිශාන් මධුෂ්ක 34, ප්‍රභාත් ජයසූරිය නොදැවී 28, දිනේෂ් චන්දිමාල් 09, කමිඳු මෙන්ඩිස් 09, හසන් මහ්මුඩ් 65/4, කලිඩ් අහ්මඩ් 34/2
බංග්ලාදේශය දෙවන ඉනිම කඩුලු 7ට 268 (පන්දුවාර 67)
මොමිනුල් හක් 50, මෙහෙඩි හසන් නොදැවී 44, ලිට්න් දාස් 38, ෂකිබ් අල් හසන් 36, මහ්මඩුල් හසන් ජෝයි 24, ළහිරු කුමාර 41/2, ප්‍රභාත් ජයසූරිය 79/2, කමිඳු මෙන්ඩිස් 22/2
බන්දුල මොල්ලිගොඩ