slc
logo
Home   |    News
අප්‍රේල් 2, 2024
ශ්‍රී ලංකාව ලකුණු 455ක් ඉදිරියෙන්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දින (01) තරගය නිම වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේ කඩුලු හතරක් ඉතිරිව ලකුණු 455කින් ඉදිරියෙන් පසු වේ.

මේ තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිම සඳහා ලබාගත් ලකුණු 531ට පිළිතුරු ලෙසින් බංග්ලාදේශය අද (01) සවස 4.30 වන විට ප්‍රථම ඉනිමේ සියලු පිතිකරුවන් දැවී ගියේ ලකුණු 178කටය. මේ අවස්ථාවේ බංග්ලාදේශ කණ්ඩායමට ඉනිමක පරාජයෙන් ගැලවීමට නැවත දෙවන ඉනිම සඳහා නැවත පිටියට යැවීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ තම කණ්ඩායම දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමටය.

තෙවැනි දින තරගය නිම වන විට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේදී කඩුලු හයකට ලකුණු 102ක් රැස් කර මේ වන විට සම්පූර්ණ තරගයේදී කඩුලු හතරක් ඉතිරිව ලකුණු 455ක් ඉදිරියෙන් පසු වේ. වේගපන්දු යවන්නන්ට බෙහෙවින්ම වාසිදායක වන මෙම චිතගොං තණතිල්ලේ අවසාන දින එකහමාරකදී මෙවැනි විශාල ලකුණු සංඛ්‍යාවකට යාම ඉතාමත් අසීරු කාර්යයක් වනු නිසැකය.

කණ්ඩායම් දෙක අතර පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේ සහ මේ තරගයේ ප්‍රථම ඉනිම යන එකම ඉනිමකවත් ලකුණු 200 ඉක්මවීමට අසමත් වූ බංග්ලාදේශ කණ්ඩායමට මේ තරගය පස්වන දින වන තෙක් ගෙන යාමට ලැබෙතැයි සිතීම ද අසීරු කරුණකි.

තරගයේ තෙවැනි දිනය වූ අද තරගය ආරම්භ වන විට කඩුලු එකක් දැවී ලකුණු 55ක් රැස් කර සිටි බංග්ලාදේශය සවස තේ පානය වන විට ඉතිරි පිතිකරුවන් නවදෙනා දැවී එක් කළේ තවත් ලකුණු 123ක් පමණකි.

අද දිනය පුරා කණ්ඩායම් දෙකම කඩුලු 15ක් දැවී රැස් කර ඇත්තේ ලකුණු 225කි. සවස තේ පානයේ සිට තරගය නිම වන තෙක් පැය දෙකක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී රැස් කළ ලකුණු 102ක් මුල් ඉනිමේ ඉදිරියෙන් සිටි ලකුණු 353ත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසුවන්නේ 455කි.

අද සවස්වරුවේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන අවස්ථාවේ බංග්ලාදේශ වේගපන්දු යවන 24 හැවිරිදි හසන් මහ්මුඩ් ප්‍රබල පන්දු යැවීමක නිරත වූයේ ලකුණු 52කට කඩුලු හතරක් දවාලමිනි. ඉතිරි කඩුලු දෙක දවාලුවේ ද අනෙක් ආරම්භක වේගපන්දු යවන්නා වන කලිඩ් අහමඩ්ය. (29/2යි)

ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් මොවුන් දෙදෙනාට සාර්ථකව මුහුණ දුන්නේ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක (ලකුණු 34යි පන්දු 45යි හතරේ පහයි) සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී ලකුණු 39යි පන්දු 50යි හතරේ තුනයි) පමණකි. දිමුත් කරුණාරත්න (04) කුසල් මෙන්ඩිස් (02) දිනේෂ් චන්දිමාල් (09) ධනංජය ද සිල්වා (01) සහ කමිඳු මෙන්ඩිස් (09) ලබා ගත්තේ අඩු ලකුණු සංඛ්‍යාවන්ය.

මේ තරගය ශ්‍රී ලංකාවට වාසිදායක වන අන්දමින් අඟහරුවාදා සවස හෝ බදාදා උදෑසන නිම වනු ඇතැයි අපේක්ෂිතය.

දෙවන දින තරගය නිම වන විට ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 55ක් ලබා සිටි බංග්ලාදේශය අද (01) නැවත තරගය ආරම්භ කිරීමෙන් පසු දිවා ආහාරය තෙක් පැය දෙකක කාලය තුළ තවත් ලකුණු 60ක් රැස් කරන විට තවත් ඉදිරිපෙළ කඩුලු තුනක් ද බිඳ වැටිණි.

බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු අතර සිටින පිතිකරුවා වූ සකීර් හසන් මුළු ලකුණු 96දී (ඕවර 32.5) අසිත ප්‍රනාන්දු එවු පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී ගියේ ලකුණු 54කටය. (පන්දු 104යි හතරේ අටයි) මෙතැන් සිට දිවා ආහාරය වන විට තවත් කඩුලු දෙකක්ම දැවී ගියේ තවත් ලකුණු 19ක් පමණක් එක් වද්දීය.

නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ හට එතරම් වේලා කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව නොසළසමින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය, නජ්මුල් හොසේන් ලකුණකට දවාලුවේ දිමුත් කරුණාරත්න පහසු උඩපන්දුවක් රැක ගැනීමෙනි. (මුළු ලකුණු 101යි) දිවා ආහාරයට ඕවර හතරකට පෙර මුළු ලකුණු 105දී බංග්ලාදේශයේ සිව්වන කඩුල්ල ලෙස ටයිජුල් ඉස්ලාම් ලකුණු 22කට (පන්දු 61යි හතරේ පහරයි) දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

දිවා ආහාරය වන විට බංග්ලාදේශය කඩුලු හතරකට ලකුණු 115ක් පමණක් ලබා පසු වූයේ අසීරු තත්ත්වයකය. දිවා ආහාරයෙන් පසුව සවස තේ විවේකයට මිනිත්තු දහයක් ආසන්න වෙමින් තිබියදී සෙසු පිතිකරුවන් හයදෙනා ද දැවී ගියේ තවත් ලකුණු 63ක් පමණක් එක්වන විටය.

දිවා ආහාරයෙන් පසුව බංග්ලාදේශය වෙනුවෙන් දස්කම් පෙන් වූ එකම පිතිකරුවා වූයේ කණ්ඩායමේ අංක පහ පිතිකරු මොමිනුල් හක්ය. මොමිනුල් හක් පන්දු 84කට මුහුණ දී හතරේ තුනක් සමඟ ලකුණු 33ක් රැස් කරමින් නව වන පිතිකරු ලෙස දැවී ගියේ මුළු ලකුණු 175 දීය.

බංග්ලාදේශ කණ්ඩායමේ අගපෙළ පිතිකරුවන් පස්දෙනාම ලිට්න් දාස් 04, සහඩට් හොසේන් 08, මෙහෙඩි හසන් මිරාෂ් 07, කලිඩ් අහමඩ් 01 සහ හසන් මහ්මුඩ් නොදැවී 02 දැවී ගියේ ලකුණු දහය ඉක්මවීමටත් පෙරය.

එමෙන්ම ඔවුනගේ අවසාන කඩුලු පහ දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාවට ලකුණු 48ක් පමණක් එක්වද්දීය.

මේ ඉනිමේදී ද ලංකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු වේගපන්දු යවන්නන් තිදෙනා දැවී ගිය කඩුලු දහයෙන් අටක්ම දවාලීමට සමත් විය.

වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු ලකුණු 34කට කඩුලු හතරක් ද ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් ද දවාලුහ.

දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙකක් දවාලුවේ ලකුණු 63ක් ලබාදෙමිනි.

ලකුණු පුවරුව

 ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම සියල්ල දැවී 531 (ඕවර 159යි)

(කුසල් මෙන්ඩිස් 93, කමිඳු මෙන්ඩිස් නොදැවී 92, දිමුත් කරුණාරත්න 86, ධනංජය ද සිල්වා 70, දිනේෂ් චන්දිමාල් 59, නිශාන් මධුෂ්ක 57, ප්‍රභාත් ජයසූරිය 28, ඇන්ජලෝ මැතිව්ස් 23, ෂකිබ් අල් හසන් 110/3, හසන් මහ්මුඩ් 92/2යි)

බංග්ලාදේශය ප්‍රථම ඉනිම සියල්ල දැවී 178 (ඕවර 68.4යි)

(සකීර් හසන් 54, මොමිනුල් හක් 33, ටයිජුල් ඉස්ලාම් 22, මහ්මඩුල් හසන් ජෝයි 21, ෂකිබ් අල් හසන් 15, අසිත ප්‍රනාන්දු 34/4, ළහිරු කුමාර 19/2, විශ්ව ප්‍රනාන්දු 38/2, ප්‍රභාත් ජයසූරිය 63/2යි)

ශ්‍රී ලංකාව දෙවන ඉනිම කඩුලු 6ට 102 (ඕවර 25)

(ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 39, නිශාන් මධුෂ්ක 34, දිනේෂ් චන්දිමාල් 09, කමිඳු මෙන්ඩිස් 09, හසන් මහ්මුඩ් 51/4, කාලිඩ් අහ්මඩ් 29/2

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • ටී-10 උණුසුම දෙසැම්බර් 12 වැනිදා පල්ලේකැලේදී ඇරඹෙයි
    ශ්‍රී ලංකාවේදී පළමු වතාවට ක්‍රියාත්මක ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. […]
  • නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියට කුසල් පෙරේරා කැඳවයි
    නොවැම්බර් මස 09වැනිදා නවසීලන්ත පිලට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති […]
  • ‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය පසිඳු – නුවනිඳු යටතට
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන පාකිස්තානු  පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සිව්දින සහ එක්දින තරග සඳහා වෙන වෙනම නායකයින් පත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු […]
  • නවසීලන්ත පිලෙන් කොටසක් එයි
    පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනෙක් ඊයේ (14 වැනිදා) මධ්‍යම රාත්‍රිෙය් ශ්‍රී ලංකාවට පැමිණිය. කාණ්ඩ දෙකක් […]
  • ප්‍රීමා කුසලාන 15න් පහළ නැෂනල් යූත් 21 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15 න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා කොළඹදී ආරම්භ වනු ඇත. සමාරම්භක දිනයේදී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee