slc
logo
Home   |    News
මැයි 14, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට ඉනිමක සහ ලකුණු 26ක ජයක්

sinhala editor

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ඉනිමක හා ලකුණු 26කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ සමත් වූහ. තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම ලකුණු 237ක් ලබාගත යුතුව තිබූණද ඇෆ්ගන් දෙවැනි ඉනිම ලකුණු 211කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු ඉහළ දැමූ වනුජ සහන් හා නිසල තාරක කඩුලු 6 බැගින් බිඳහෙලා දස්කම් දැක්වීමෙන් ජය මාවත පහසුවෙන් විවර විය. වනුජ සහන් පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 75ක් ලබාගත් අතර, ඇෆ්ගන් ‘ඒ‘ පළමු ඉනිමේ කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේ කඩුල්ලක් බිදහෙලීමට සමත් විය. එමෙන්ම නිසල තාරක දෙවැනි ඉනිමේදී කඩුලු 6ක් බිදහෙලා අණසක පැතිර වූවේය.

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පසිඳු සූරියබණ්ඩාර මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ හෙයින් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබා ගත්තේය. පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන ‘ඒ’ ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 198ක් ලබාගත් හෙයින් දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදුවිය. ඇෆ්ගන් ක්‍රීඩකයෝ ඊයේ (13) තෙවැනි දිනය නිමාවෙද්දී දෙවැනි ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 108ක් රැස්කර සිටි අතර අද දිනයේ ඉතිරි කඩුලු 8 බිද වැටුණි.

ශ්‍රී ලංකා පිල මුල් ඉනිමේදී මැද පෙළ හා පසුපෙළ ඉතා හොදින් ක්‍රියාත්මක වූ අතර, අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි සොනාල් දිනූෂ පන්දු 193කදී හතරේ පහර 16ක් සමඟ ලකුණු 145ක් ලබා ගත්තේය. සොනාල් සමඟ 6 වැනි කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් ගොඩනැගූ විෂාද් රන්දික පන්දු 111කදී හතරේ පහර 8ක් එල්ල කරමින් ලකුණු 63ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරු ළහිරු උදාර ලකුණු 65ක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ‘එ්‘ පිලේ පළමු කඩුල්ල ලකුණු 84දී දැවීගිය අතර, අනතුරුව පළමු කඩුලු 4ක් 104කට දවා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.ඇෆ්ගනිස්තාන ටෙස්ට් පිලේ තරග දෙකකට සහභාගීවී ඇති වමත් දඟ පන්දු යවන සියා උර් රහ්මාන් ලකුණු 127කට කඩුලු 6ක් බිඳහෙලීමට සමත් විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 435 (ඕවර් 101.3)  – ඔෂධ ප්‍රනාන්දු 32, ළහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 27, සොනාල් දිනූෂ 145, විෂාද් රන්දික 63, වනුජ සහන් 75, අතිරේක 18 ( නවීඩ් සද්‍රාන් 94/2, මොහොමඩ් ඉබ්‍රාහිම් 76/1, සියා සූ උර් රහ්මාන් 127/6, කලීල් ගුරුබාස් 59/1)

ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමසියලු දෙනා දැවී ලකුණු 198 (ඕවර් 67.5) – ඉම්රාන් 62, බහීර් ෂා 23, රහ්මනුල්ලා 17, ඉජාස් අහමඩ් 28, අබ්දුල් හාඩි 45, ( මිලාන් රත්නායක 46/1, වනුජ සහන් 58/5, නිශාන් පීරිස් 37/3, සොනාල් දිනූෂ 13/1)

ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 211 (ඕවර් 62.3) ඉසානුල්ලා 27, ඉම්රාන් 53, ඉජාස් අහමඩ් 54, අබ්දුල් හඩී 19, නවීඩ් සද්‍රාන් 34 ( නිසල තාරක 42/6, නිශාන් පීරිස් 63/2, වනුජ සහන් 51/1, සොනාල් දිනූෂ 23/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee