Chamila Karawita reporting from Dambulla
කුසල් ජනිත් සහ රීසා හෙන්රික්ස් එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 154 ක සම්බන්ධතාව හේතුකොට ගෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අද (07 දා) රාත්රියේදී සමත්විය. මෙම තරගයට පෙර සහභාගිවුණු තරග 3 ම පරාජයට පත්ව සිටි දඹුල්ල කණ්ඩායම කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව ලද කඩුලු 8 ක ජයග්‍රහණත් සමග එතෙක් මුහුණ දී සිටි පරාජයන් වැළට තිත තැබීමට අද රාත්‍රියේ සමත්විය.
LPL – 5 තරගාවලියේ 10 වැනි තරගය ලෙසින් පැවැති මෙම තරගයේදී ලකුණු 186 ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල සික්සර්ස් ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී ඉලක්කය සපුරා ගත්තේ තවත් පන්දු 13 ක් ඉතිරිව තිබියදීය. පන්දු 18 කදී ලකුණ 17 ක් ලබාගත යුතුව තිබියදී 18 වැනි පන්දුවාරය යැවූ මතීෂ පතිරණට පන්දු 4 ක් ඇතුළත 6 පහර 3ක් එල්ල කළ මාක් චැප්මන් (23*) දඹුලු ජයග්‍රහණය ඉක්මන් කළේය.
මෙවර තරගාවලියේ ශතකයක් වාර්තා කළ පිතිකරුවන් දෙදෙනා අතරින් එක් අයකු වන කුසල් පෙරේරා අද දිනයේදීද යළිත් ලකුණු අතරට පිවිසෙමින් හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 80 ක් ලබා ගත්තේ තරගයේ වීරයා සම්මානයටද හිමිකම් කියමිනි. මෙය දඹුල්ල සික්සර්ස් කණ්ඩායම වෙනුවෙන් ඔහු ලබා ගන්නා තෙවැනි අර්ධ ශතකය මෙන්ම එම කණ්ඩායම වෙනුවෙන් එක් පිතිකරුවකු වාර්තා කරන ලද ඉහළම අර්ධ ශතක සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය.
කුසල්ට අනගි සහායක් ලබා දුන් අනෙක් ආරම්භක පිතිකරුවා වූ රිසා හෙන්රික්ස් වන අතර ඔහු පන්දු 39 කදී ලකුණු 54 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ද සමඟිනි. ඉනිමේ පළමු කඩුල්ල ලෙස හෙන්රික්ස්ව දවා ගැනීමට ටස්කින් අහමඩ් සමත් වූවේය. යම් ලෙසකින් මොවුන් දෙදෙනා අතර සම්බන්ධතාවය තවත් ලකුණු 8 කින් ඉහළ ගියේ නම් එදා මෙදා තුර ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වන ඉහළම ලකුණු සම්බන්ධතාවය (163) ඉක්මවා ලන්නට අවස්ථාව තිබිණ. කෙසේ වෙතත් මෙය පළමු කඩුල්ලේ තෙවැනි ඉහළතම ලකුණු සම්බන්ධතාව ලෙසින් සනිටුහන් විය.
පළමුව පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඕවර 20 ක් අවසනී කඩුලු 6 කට ලකුණු 185 ක් ලබා ගැනීමට සමත්විය. ඒ වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ ග්ලෙන් පිලිප්ස් පන්දු 36 කදී හයේ පහර 3 ක් සහ හතරෙ පහරක් සමගින් ලකුණු 52 ක් රැස් කළේ ඉනිමේ අවසානය තෙක්ම රැඳී සිටිමින.
අවසන් පන්දුවාර කීපයේදී පිටියට පිවිස් චාමික කරුණාරත්න හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 27 ක් ලබා ගත්තේය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් රාමනුල්ලා ගුර්බාස් (36) සහ ඇන්ජලෝ පෙරේරා (41) අපන්දු 45 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ස්ට්‍රයිකර්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. ගුර්බාස්ට වඩා වේගයෙන් පන්දුවට පහර දුන් ඇන්ජලෝ පෙරේරා හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟින් පන්දු 27 කදී ලකුණු 41 ක් ලබා ගත් අතර ගුර්බාස් ලකුණු 36 ක් ලබා ගත්තේය.
කලම්බු ස්ට්‍රයිකර්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 ට කුණු 185 යි
රාමනුල්ලා ගුර්බාස් 36, ඇන්ජලෝ පෙරේරා 41, ග්ලෙන් පිලිප්ස් 52, චාමික කරුණාරත්න 27*, මොහොමඩ් නබී 20/2)
දඹුල්ල සික්සර්ස් පන්දුවාර 17.5 කදී කඩුලු 2 ට ලකුණු 188 යි
කුසල් පෙරේරා 80, රීසා හෙන්රික්ස් 54, මාක් චැප්මන් 23*, ටස්කින් අහමඩ් 45/2