slc
logo
Home   |    News
ජූලි 1, 2024
දසුන්ගේ තුන් ඉරියව් දක්ෂතා කැන්ඩි ෆැල්කන්ට ජය ගෙනෙයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අලුතින්ම හඳුන්වා දුන් පවර් බ්ලාස්ට් අධිවේගී පන්දුවාර දෙකේදී ලකුණු 44 ක් උදුරා ගනිමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට දසුන් ශානක සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා සමත්වීම නිසා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට එරෙහිව අද (01 දා) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ. වර්තමාන එල්.පී.එල්. ශූරයින් බවට පත්ව සිටින කැන්ඩි කණ්ඩායම ලකුණු 180 ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 17.2 කදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබාදෙමිනි.

ඉලක්කය හඹා යෑමේදී ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් පළමු පන්දුවෙන්ම දැවී ගියද තම සටන අත්නොහළ දිනේෂ් චන්දිමාල් පන්දු 40 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් වේගවත් ලකුණු 65ක් ලබා ගනිමින් කැන්ඩි පිලට අවශ්‍ය ආරම්භය එක් කර දුන්නේය. එම ඉනිමේ ගම්‍යතාවය සමඟින් මැද පෙළ ශක්තිමත් කළ දසුන් ශානක පන්දු 15 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් ලබා කැන්ඩි කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 20 කදී නොදැවී ලකුණු 37 ක් රැස් කළේය.

මාක් චැප්මන් සහ චමිදු වික්‍රමසිංහ දෙදෙනා එක්ව අවසන් පන්දුවාර 5 න් ලකුණු 63 ක් උදුරා ගැනීමට සමත්වීම නිසා වර්තමාන ශූරයින් වන කැන්ඩි ෆැල්කන්ස් පිලට එරෙහිව ලකුණු 180 ක දැවැන්ත ඉලක්කයක් ලබා දීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට හැකියාව ලැබිණ.

මොවුන් මෙම දැවැන්ත ලකුණු පුවරුව ගොඩනංවන ලද්දේ පළමු කඩුලු 4 ම ලකුණු 25 ක් ඇතුළත දැවී ගොස් තිබියදී වීම විශේෂත්වයක් විය. දසුන් ශානක විසින් ධනුෂ්ක ගුණතිලක (11), නුවනිදු ප්‍රනාන්දු (04) සහ ටව්හිඩ් රිඩෝයි (1) තිදෙනාම දවා ගැනීමත් මොහොමඩ් හස්නේන් විසින් කුසල් පෙරේරාව දවා ගැනීමත් නිසා දඹුල්ල ඉනිම ආරම්භය කඩා වැටිණ. කෙසේ වෙතත් පස්වැනි කඩුල්ල සදහා නවසීලන්ත ක්‍රීඩක මාක් චැප්මන්ට එක් වුණු චමිඳු වික්‍රමසිංහ නොබිඳුණු ලකුණු 154 ක සම්බන්ධතාවක් පවත්වමින් දඹුල්ල පිල අවධානමෙන් මුදවා ගත්හ. මෙම සම්බන්ධතාව එල්.පීි.එල්. තරගයකදී දඹුල්ල පිල පස්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු වැඩිම ලකුණු සම්බන්ධතාව ලෙසින් සටහන් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඇලෙකස් රොස් සහ බෙන් මැක්ඩමට් විසින් රැස් කර තිබූ ලකුණු 102 ක සම්බන්ධතාවයයි.

කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ චැප්මන් අවසන් පන්දුවට එල්ල කරන ලද හතරේ පහරද සමඟ පන්දු 61 කදී ලකුණු 91 ක් ලබා සිටියේ තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් වර්ණවත් කරදමමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් චමිදු වික්‍රමසිංහ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින්  පන්දු 42 කදී වේගවත් ලකුණු 62 ක් වාර්තා කළේ තමන් සතු ප්‍රහාරාත්මක හැකියාව තම මංගල එල්.පී.එල්. තරගයේදීම පෙන්නුම් කිරීමට සමත්වූවේය.

මේ තරගාවලියට අලුතින්ම එක් කරන ලද විශේෂාංගය වන පවර් බ්ලාස්ට් අවස්ථාවේදී මොවුන් දෙදෙනාට රැස් කරගත හැකි වූයේ ලකුණු 13 ක් පමණක් වුවත්, අවසන් පන්දුවාර 10 දී (16 වැනි 17 වැනි පන්දුවාරද ඇතුළුව) ලකුණු 116 රැස් කිරීමට චමිඳු සහ චැප්මන් සමත්වීමද කැපී පෙනෙන්නකි.

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහළින් ක්‍රිකට් පිටියට පිවිස සිටින්නේය. වමතින් පිත්ත හසුරුවන චමිදු පිතිකරණයේ නියැළීමේදී අවධානමින් තොරව  පහර එල්ල කළේ පාද චලනයන්ද ඉතාම නිවැරදි ආකාරයෙන් තබාගෙන වීම කැපී පෙනුණි. දුර්වල පන්දු වලට මෙන්ම හොඳ පන්දුවලටද කිසිදු අනුකම්පාවක් නොදැක්වූ චමිදු එල්ල කළ පහර සියල්ලෙහිම විශ්වාසනීයත්වයක් ගැබ්ව තිබිණ. පළමු පන්දුවාර 4 හැරුණු කොට කැන්ඩි කණ්ඩායමේ පන්දු යැවීම නම් සුභදායක මට්ටමක නොපැවතිණ. දසුන් ශානක පමණක් තම පන්දුවාර 4 දී ලකුණු 20 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් දවා ගනිද්දී හස්නේන්ගේ පන්දුවාර 4 දී ලකුණු 53 ක් උදුරා ගැනීමට චමිඳු-චැප්මන් සමත්වූහ.

ලකුණු පුවරුව
දඹුල්ල සික්සර්ස් ලකුණු පන්දු 4 6
ධනුෂ්ක ගුණතිලක   ප.දසුන් ශානක 11 11 1 1
කුසල් පෙරේර ඇ.වනිඳු හසරංග ප.මොහොමඩ් හස්නේන් 0 4 0 0
නුවනිඳු ප්‍රනාන්දු ඇ.ඇන්ජලෝ මැතිව්ස් ප.දසුන් ශානක 4 4 1 0
ටව්හිඩ් රිඩෝයි කඩුල්ල මුවා කළා ප.දසුන් ශානක 1 2 0 0
මාක් චැප්මන් නොදැවී   91 61 8 4
චමිඳු වික්‍රමසිංහ නොදැවී   62 42 4 3
අතිරේක 10  
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 179
කඩුලු වැටීම / 1-13 (ගුණතිලක 2.2), 2-17 (නුවනිඳු 2.6), 3-18 (කුසල් 3.1), 4-25 (රිඩෝයි 4.1)
පන්දු යැවීම
දසුන් ශානක 4-0-20-3 දුෂ්මන්ත චමීර 4-0-27-0
මොහොමඩ් හස්නේන් 4-0-53-1 වනිඳු හසරංග 4-0-32-0
කමිඳු මෙන්ඩිස් 10-08-0 චමත් ගෝමස් 4-0-38-0
කැන්ඩි ෆැල්කන්ස්
දිනේෂ් චන්දිමාල්   ප.අකිල ධනංජය 65 40 6 3
ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්   ප.නුවන් තුෂාර 0 1 0 0
මොහොමඩ් හැරිස් ඇ.සහ ප.මුස්ටෆිසුර් රෙහ්මාන් 5 8 0 0
කමිඳු මෙන්ඩිස් ඇ.නුවනිඳු ප්‍රනාන්දු ප.චමිඳු වික්‍රමසිංහ 27 20 4 0
ඇන්ජලෝ මැතිව්ස නොදැවී   37 20 5 1
දසුන් ශානක නොදැවී   46 15 3 5
අතිරේක     3  
එකතුව පන්දුවාර 17.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 183
කඩුලු වැටීම – 1-01 (ෆ්ලෙචර් 0.2), 2-26 (හැරිස් 3.1), 3-82 (කමිඳු 9.4), 4- 111 (චන්දිමාල් 12.6)
පන්දු යැවීම
නුවන් තුෂාර 3-0-35-1 ඩිල්ෂාන් මදුශංක 3.2-0-31-0
මුස්ටෆිසූර් රෙහ්මාන් 3-0-44-1 මොහොමඩ් නබී 1-0-12-0
අකිල ධනංජය 4-0-29-1 චමිඳු වික්‍රමසිංහ 3-0-31-1

 

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee