Chamila Karawita from Dambulla
වසර 5 කට හිමිකම් කියන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පවර් ප්ලේ අවස්ථාවක වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියමින් ගෝල් මාවල්ස් කණ්ඩායම කඩුල්ලක් දැවී රැස් කරන ලද ලකුණු 89 ද සමග කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව අද (07 දා) පස්වරුවේ පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත්වූවේය.
9 වැනි තරගය ලෙසින් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදීි ලකුණු 175 ක ඉලක්කයක් හඹා ගිය මාවල්ස් පිතිකරුවෝ පන්දු 17 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගනු ලැබුවේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි. මෙතෙක් සහභාගිවන ලද තරග 4 න් මාවල්ස් කණ්ඩායම රැස් කරන ලද තෙවැනි ජයග්‍රහණය වශයෙන් සනිටුහන් වුණු මෙම තරග ජයග්‍රහණය ඉක්මන් කිරීම සඳහා ටිම් සීෆර්ට්ගේ ඉනිම කැපී පෙනිණි. පන්දු 49 කට මුහුණ දුන් සීෆර්ට් හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමඟින් ලකුණු 82 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි.
සොරිෆුල් ස්ලාම් යවන ලද ඉනිමේ පළමු පන්දු 4 න් 3 ක් හතරේ සීමාවෙන් ඔබ්බට යවමින් ලකුණු ලබාගැනීමට නායක නිරෝෂන් දික්වැල්ල සමත් වුවද ඔහුගේ ඉක්මන් කම නිසා කඩුල්ල අහිමි කරගෙත්තේ එම පන්දුවාරයේ අවසන් පන්දුවේදීය. කෙසේ වෙතත් සෙසු ආරම්භක පිතිකරුවා වූ ඇලෙක්ස් හේල්ස් (38) සමඟ එක්වූ සීෆර්ට් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් එක් කළේ එල්.පී.එල්. තරග ඉතිහාසයේ පළමු පන්දුවාර 6 දී කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද මාවල්ස් පිල හමුවේ ලියාදමිනි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ 2021 වසරේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ගෝල් ග්ලැඩියේටර්ස් පිල රැස් කර තිබූ ලකුණු 81 ක විය. එමෙන්ම එම ලකුණු 79 ක සම්බන්ධතාව ගෝල් කණ්ඩායමක් 2 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින්ද සනිටුහන් විය.
මෙතෙක් තරගාවලියේ තමන් සහභාගිවූ තරග 4 දී ශතකයක් සහ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්ව සිටින සීෆර්ට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභින් අතර දෙවැනි ස්ථානයට පැමිණ සිටින්නේ ඔහුට ඉහළින් රැඳී සිටින අවිශ්ක ප්‍රනාන්දු (210) ලකුණු 02 ක් මෙපිටින් සිටිමිනි.
පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩඩායම රැස් කරන ලද ලකුණු 175 වෙනුවෙන් වැඩිම ලකුණු එක් කරන ලද්දේ නායක වනිඳු හසරංගගේ පිත්තෙන් වන ඔහු පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමඟින් නොදැවී ලකුණු 65 ක් රැස් කර ගත්තේය.
ලකුණු 77 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි දකුණත් පිතිකරුවා ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් එක් කළහ. මෙම සම්බන්ධතාව කැන්ඩි කණ්ඩායමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් යුගලයක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්විය.
තරගය ආරම්භයේදී කැන්ඩි ඉදිරි පෙළ පිතිකරුවන්ට එතරම් සුභදායක නොවූ අතර එහිදී ලකුණු 3 ක් ඇතුළත චන්දිමාල්, කමිදු මෙන්ඩිස් නරඹන්නන් බවට පත් කිරීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් තම අන්තය රැක ගත් ෆ්ලෙචර් පන්දු 36 කදී ලකුණු 50 ක් රැස් කළේ සිය පරිණත භාවය මැනවින් පෙන්වා දෙමිනි. අසීරු අවස්ථාවන්හිදී කලබලයක් නොපෙන්වූ දකුණත් බටහිර ඉන්දීය කොදෙව් ජාතික පිතිකරුවා තම ඉනිම අර්ධ ශතකයකින් නිමා කරන විට තම ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් එල්ල කර තිබුනේය.
කැන්ඩි පිල අසීරුතාවයට ඇද දැමූ ප්‍රධාන පන්දු යවන්න්න යුගලය වූයේ ඉසුරු උදාන (30/3) සහ සහූර් ඛාන් (29/2) විය.
කැන්ඩි ෆෝල්කන්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 175 යි –
(ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් 50, ඇන්ජලෝ මැතිව්ස් 25, වනිඳු හසරංග 65*, ඉසුරු උදාන 30/3, සහූර් ඛාන් 29/2)
ගෝල් මාවල්ස් පන්දුවාර 17.1 කදී කඩුලු 4 ට ලකුණු 176 යි
(ඇලෙක්ස් හේල්ස් 38, ටිමී සෆර්ට් 82*, භානුක රාජපක්ෂ 16, ෂොරිෆුල් ස්ලාම් 32/2)