slc
logo
Home   |    News
අගෝස්තු 21, 2024
ශ්‍රී ලංකා පළමු ඉනිම 236 න් නවතියි

sinhala editor

තම මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක්ද සමගින් වාර්තා ගත ඉනිමක් ක්‍රීඩා කිරීමට මිලාන් රත්නායක සමත්වීමත්, ධනංජය ද සිල්වාගේ නායකත්වයේ ඉනිමත් හේතුවෙන් එංගලන්තයට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි අද (21 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 236 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය. තරගයේ පළමු දිනට ක්‍රීඩාව නිමා කරන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 22 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනා ගනිමින් පමුව පන්දුවට  පහර දීමට තමා ගත් තීරණය සාධාරණීය කරමින් පන්දුවට පහර දුන් නායක ධනංජය ද සිල්වා පන්දු 84 කදී ලකුණු 74 ක් ලබා මිලාන් රත්නායක රැස් කරන ලද ලකුණු 72 සටහන් වූයේ වසර 140 කට වඩා අතීතයකට හිමිකම් කියන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අංක 09 ස්ථානයේ ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයකු මංගල ඉනිමකදී රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.

එම කරුණු දෙක ශ්‍රී ලංකා පළමු ඉනිමේ කැපී පෙනෙන සිදුවීම් වූවා හැර ඉදිරි පෙළ පිතිකරුවන්ට ආදර්ශයක් වෙමින් අංක 10 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි විශ්ව ප්‍රනාන්දු පන්දු 62 කට මුහුණ දෙමින් ලකුණු 13 ක් රැස් කිරීම කැපී පෙනිණ. ශ්‍රී ලංකා ඉනිමේ නම් දරා සිටි අවසන් පිතිකරුවා වූ නායක ධනංජය ද සිල්වා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 8 කට ලකුණු 176 ක් ලෙසින් සටහන් විය. එහෙත් සටන අත්නොහළ මිලාන් සහ විශ්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක සම්බන්ධතාවක් එක් කළේ පන්දු 122 ක් ක්‍රීඩා කරමිනි. එම සම්බන්ධතාව ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ශ්‍රී ලංකා ලකුණු පුවරුව රැගෙන ඒමට බෙහෙවින් දායක විය.  එම සම්බන්ධතාවය ඉනිමේ දෙවැනි වූයේ ධනංජය සහ මිලාන් අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 63 ක සම්බන්ධතාවයට පමණි.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 236 න් නතර වුවත් ඉන් ලකුණු 123 ක්ම පැමිණ තිබුණේ අවසන් කඩුලු 3 අතර පැවැති ලකුණු සම්බන්ධතාවන්වලින් වීම කැපී පෙනෙයි. පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට එක්කාසු වී සිටියද අවශ්‍ය මොහොතේදී ක්‍රියාත්මක වුණු මිලාන් ඉතාමත් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් මුහුණ දුන් 96 වැනි පන්දුවේදී මංගල අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය. හයේ පහරකින් මිලාන් තම අර්ධ ශතකය සම්පූර්ණ කර ගනිද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුවද 200 සටහන් විය.

කාසියේ වාසිය තමන් සතු කර ගනිමින් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා තීරණය කළද මුලු ලකුණු සංඛ්‍යාව 06 ක්ව තිබියදී හිටපු නායක දිමුත් කරුනාරත්න, නිශාන් මදුෂ්ක සහ පළපුරුදු ඇන්ජලෝ මැතිව්ස් තිදෙනාම දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. දිමුත්ගේ කඩුල්ල ඇට්කින්සන් දවා ගනිද්දී නිශාන් මදුෂ්ක සහ මැත්ව්ස් දෙදෙනාම 7 වැනි පන්දුවාරය යැවූ ක්‍රිස් වෝක්ස්ට බිළිවිණ.

තරගය ආරම්භ වූ මොහොතේ සිටම එංගලන්ත  පන්දු යවන්නෝ දෝලයක්ද සමගින් නියමිත ඉලක්කයට පන්දුව යැවූ නමුත්, මැතිව්ස්ගේ කඩුල්ල සොයා ආ පන්දුව නිදැල්ලේ යෑමට හැරීමේ ප්‍රතිඵලය වූයේ එය දැවී යෑමක් ලෙස විනිසුරු සංඥා කිරීමයි. එහෙත් එය මැතිව්ස් විතීවී අවස්ථාවට යොමු කළද ප්‍රධාන විනිසුරු පෝල් රයිෆල් ලබා දුන් තීරණයට වෙනසක් කිරීමට ඉන් නොහැකි විය.

අනතුරුව එක් වුණු කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 40 ක් දක්වා ඉහළ දමද්දී හදිසියේම පැමිණි මාක් වුඩ් කුසල් මෙන්ඩිස්ව දවා ගනිමින් ශ්‍රී ලංකාව තවත් අසීරුතාවයට පත් කළේය. අනතුරුව චන්දිමාල්ගේ කඩුල්ල දවා ගත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ෂොයෙබි බෙෂීර් තම කඩුලු දඩයම ආරම්භ කළේය.

එංගලන්තය පිලේ හිටපු සුපිරි වමත් පිතිකරු ග්‍රැහැම් තෝප්ගේ අභාවය හේතුවෙන් එංගලන්තය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගයට කළු පැටි පැළඳමින් අවතීර්ණව සිටිති. එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් සහ එක්දින තරග 81 ක් ක්‍රීඩා කර ඇති තෝප් අගෝස්තු 04 වැනි දින මෙලොව හැර ගියේය.  

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar