ඔක්තෝබර් 30, 2024
ශ්‍රී ලංකා සය සාමාජික පිල හොංකොං බලා පිටත්ව යයි
sinhala editor
හොංකොං දේශයේ පැවැත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායම හොංකොං රාජ්‍ය බලා ඔක්තෝම්බර් 29 වැනිදා රාත්‍රියේ පිටත්ව ගියේය. ළහිරු මදුශංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායමට සාමාජිකයින් 6 දෙනෙකු ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව කණ්ඩායම හොංකොං බලා පිටත්ව ගියේය.
32 වියේ පසුවෙන මදුශංකට අමතරව නම් කර ඇති සෙසු සාමාජිකයින් 6 දෙනාම තුන් ඉරියව් ක්‍රීඩකයෝ වෙති. ඒ අතරින් සඳුන් වීරක්කොඩි කඩුලු රකින්නා ලෙසින් කටයුතු කරනු ඇත. කණ්ඩායමට ඇතුළත් 7 දෙනාගෙන් පස් දෙනෙකුම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින හෝ විස්සයි-20 තරගයකට හෝ ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෝවෙති.
ජාතික කණ්ඩායම නියෝජනය කොට නොමැති ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ තරිඳු රත්නායක සහ තනුක දාබරේයි. දේශීය පළමු පෙළ විස්සයි-20 තරග 61 කට ක්‍රීඩා කර ඇති තරිඳු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 68 ක් වන අතර පිත්තෙන් ලකුණු 1352 ක් වාර්තා කිරීමට සමත්ව සිටියි. අනෙක් ක්‍රීඩකයා වන තනුක දාබරේ දේශීය විස්සයි-20 තරග පිටියේ තරග 33 කට ක්‍රීඩා කොට කඩුලු 15 ක් සහ ලකුණු 661 ක් රැස් කරගෙන තිබේ.
කණ්ඩායමට ඇතුළත්ව සිටින ධනංජය ලක්ෂාන් සහ සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 3 කටද ළහිරු සමරකෝන් සහ නිමේෂ් විමුක්ති එක් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට බැගින්ද ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයෝ වෙති.
ක්‍රිකට් හොංකොං විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය නොවැම්බර් මස 01 වැනිදා සිට 03 වැනිදා දක්වා හොංකොං දේශීයේ පැවැත්වේ.
ශ්‍රී ලංකා සය සාමාජික කණ්ඩායම – ළහිරු මදුශංක (නායක), ළහිරු සමරකෝන්, නිමේෂ් විමුක්ති, සඳුන් වීරක්කොඩි, ධනංජය ලක්ෂාන්, තරිඳු රත්නායක, තනුක දාබරේ.