ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහල කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම් අතර පැවැත්වුණු තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කල ශ්‍රී ලංකා අවු. 17 න් පහළ කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ජයග්‍රාහීව අවසන් කළේය. මෙම තරගාවලියේ පළමු තරග 2 ම වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ප්‍රතිඵල රහිත විය.
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 23 කට සීමා වෙමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 17 කදී ලකුණු 77 කට සීමා කිරීමට ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පන්දු යවන්නෝ සමත්වූහ.
බංග්ලාදේශයෙන් ලද පහසු ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සඳහා වැය කරන ලද්දේ පන්දුවාර 16.4 ක් පමණක් වූ අතර එහිදී කඩුලු 3 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දී තිබුණි.
මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන පළමු තෙදින තරගය දෙසැම්බර් මස 01 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.
බංග්ලාදේශ අවු. 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 17 කදී ලකුණු 77 යි – (අහසනුල් හක් 29, ඉම්රාන් හොසේන් 20, රයන් ග්‍රෙගරි 02/3, රසිත් නිම්සර 27/3, කිත්ම විදානපතිරණ 13/2)
ශ්‍රී ලංකා අවු. 17 න් පහළ පිල පන්දුවාර 16.4 කදී කඩුලු 3 ට ලකුණු 80 යි – (සෙනජ වකුණුගොඩ 30*, රෙහාන් පීරිස් 29, මොහොමඩ් රහීම් 11/2)