slc
logo
Home   |    News
නොවැම්බර් 28, 2024
දකුණු අප්‍රිකානුවෝ ලකුණු 281 කින් ඉදිරියට එති

sinhala editor

ඩර්බන් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (28 වැනිදා) දකුණු අප්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 191 ක ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 42 කට සීමා විය. එය වසර 45 කට ආසන්න ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසට වාර්තා පොත් වලට එක් විය. එමෙන්ම එය ලෝක ටෙස්ට් ඉතිහාසයට සංසන්දනය කිරීමේදී කණ්ඩායමක් දැවී ගිය 6 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට පෙර ටෙස්ට් තරගයදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වන්නේ 1994 වසරේදී පාකිස්තානු පිලට එරෙහිම අස්ගිරිය ක්‍රීඩාංගණයේදී දැවී ගිය ලකුණු 71 වේ. ඉන් අනතුරුව 2006 වසරේදීද ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු පිල හමුවේදීම ලකුණු 73 කට දැවී ගොස් තිබේ.

ශ්‍රී ලංකාව අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් කැපී පෙනන පන්දු යැවීමක නිරත වුණු මාකෝ ජැන්සන් ලකුණු 13 කට කඩුලු 7 ක් දවා ගත්තේය. ඔහුගේ මෙම අති විශීෂ්ඨ පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 13.5 කට සීමා විය. එයද ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම පන්දුවාර සංඛ්‍යාවේ දෙවැනි ස්ථානය ලෙසින් සනිටුහන් විය.

ජැන්සන්ගේ මෙම සුවිශේෂී පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකානුවන්ට පළමු ඉනිමේදී ලකුණු 149 ක වාසියක් හිමිවිය. කෙසේ වෙතත් නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 281 ක් ඉදිරියෙන් සිට ගනිමිනි. ඒ අනුව අද දිනයේදී දැවී ගිය කඩුලු සංඛ්‍යාව 19 ක් වේ.

ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 17 ක් සහ නායක ටෙම්බා බවුමා ලකුණු 24 ක් ලබා තෙවැනි දිනය වන හෙට (29 වැනිදා) පන්දුවට පහර දීමේ සූදානමින් පසුවෙති.

ලකුණු 117 ක් තුළ කඩුලු 7 ක් දැවී ශ්‍රී ලංකාව හමුවේ තමන් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව (128) බිද දැමීමේ අවධානමකට දකුණු අප්‍රිකානු කණ්ඩායම මුහුණ දුන්නද ටෙම්බා බවුමාගේ නායකත්වයේ ඉනිමත් කේෂව් මහරාජ්ගේ වේගවත් ඉනිමත් නිසා එම අවධානමෙන් මිදීමට සත්කාරකයින්ට හැකියාව ලැබිණ. කෙසේ වෙතත් දිවා ආහාරයට සුලු වේලාවකට පෙර දකුණු අප්‍රිකානු ඉනිම නිමා වනවිට ලකුණු පුවරුව ලකුණු 191 ක් වශයෙන් සටහන්ව තිබිිණ.

ඩර්බන් නුවර පැවැත්වෙන මෙම පළමු ටෙස්ට් තරගයේ පෙර දින මෙන් නොව හිරු රැස් වැටුණු උදෑසන පිතිකරුවන් වාසි දායක ලෙසින් තණතීරුව හැසිරෙනු ඇතැයි අපේක්ෂා කෙරුණි. එහෙත් ළහිරු කුමාර ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකානු අවසන් කඩුලු 6 ම ලකුණු 111 කදී බිඳ දමා ගැනීමට අවස්තාව උදාවිය.

පැයට කිලෝ මීටර 140 කට වඩා වේගයෙන් පන්දු යැවූ ළහිරු කුමාර සිය පන්දු යැවීම ලකුණු 70 කට කඩුලු 3 ක් සටහන් කර ගනිද්දී, ප්‍රනාන්දු යුගලය වූ අසිත සහ විශ්ව අතර දැවී ගිය ඉනිමේ කඩුලු 5 ක් බෙඳී ගියහ. ඉනිමේ ඉතිරි කඩුලු 2 දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වූවේය. ඒ අනුව ප්‍රභාත් ජයසූරිය සහ ළහිරු කුමාර දෙදෙනාම ඒ වන විට ටෙස්ට් කඩුලු 99 බැගින් දවාගෙන සිටි නමුත් දෙවැනි ඉනිමේදී කඩුලු 2 ක් දවා ගත් ජයසූරිය ළහිරුට පෙර කඩුලු 100 සීමාව ඉක්මවා යෑමට සමත්වූවේය.

තම 17 වැනි ටෙස්ට් තරගයට සහභාගිවෙමින් සිටින ජයසූරිය වේගවත්ම ටෙස්ට් කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නන් අතර දෙවැනි සම ස්ථානය හිමිකර ගැනීමට අද සමත්වූවේය. මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ 19 වැනි ශත වර්ෂයේදී එංගලන්තය නියෝජනය කරන ලද ජෝර්ජ් ලෝමෑන්වේ. ඔහු කඩුලු 100 සම්පූර්ණ කරගෙන තිබෙන්නේ මුහුණ දුන් 16 වැනි තරගයේය. ඒ අනුව ප්‍රභාත් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 17 කදී කඩුලු 100 කඩඉම පසු කර යසීර් ෂා සමග සමතැන් ගෙන සිටියි.

ශ්‍රී ලංකාවෙන් එවැනි දස්කමක් දක්වන ලද 8 වැනි පන්දු යවන්නා බවට ජයසූරිය පත් වන විට ඔහු පෙර මුත්තයියා මුරලිදරන් (800), රංගන හේරත් (433), චමින්ද වාස් (355), සුරංග ලක්මාල් (171), ඩිල්රුවන් පෙරේරා (161), ලසිත් මාලිංග (101) නහ ඩිල්හාර ප්‍රනාන්දු (100) ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 100 සීිමාව ඉක්මවාලූ පන්දු යව බවට පත්ව සිටියහ.  

අද දිනයේ යවන ලද 8 වැනි පන්දුවේදී කඩුල්ලක් දවා ගනිමින් සාර්ථක ආරම්භයක් එක් කර දීමට ළහිරු කුමාර සමත්විය. එතැනින් නොනැවතුණු ළහිරු කෙටි පන්දුවකදී වියාන් මල්ඩර්ව ආබාධයකට නතු කරමින් පිටියෙන් ඉවත් කළේය. කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ඨ උඩ පන්දු රැකීම නිසා ජෙරල්ඩ් කොඑට්සි පිටියෙන් ඉවත් වන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කඩුලු 7 කට ලකුණු 117 ක් ලෙසින් සටහන් විය.

අනතුරුව බවුමාට එක් වූ කේෂව් මහරාජ් කඩුල්ලේ රැඳී සිටිනවා වඩා ලකුණු වැදගත් යැයි තීරණය කරමින් වේගවත් පිති ප්‍රහාරයක නිරත විය. එහිදී ජයසූරිය ක්‍රියාත්මක කරන ලද සිව්වැනි පන්දුවාරයේදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. එහෙත් ජයසූරියට එල්ල කළ අයුරින්ම විශ්ව ප්‍රනාන්දුටද පහර එල්ල කිරීමට යෑමේදී මහරාජ් පිටියෙන් ඉවත් වූයේ මිඩ් ඕෆ් කලාපයේ පන්දු රැකි ධනංජය ද සිල්වා උඩ පන්දුවක් රැක ගැනීමෙනි. අවසන් පිතිකරුවා ලෙස පිවිසි කගිසෝ රාබඩා සමග පන්දුවට පහර දුන් බවුමා වේගය වැඩි කිරීමට දරන ලද උත්සාහයේදී ලකුණු 70 කට දැවී ගියේ මුහුණ දුන් 117 වැනි පන්දුවේදී දැවී යමිනි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee