ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලිය යටතේ ජැෆ්නා ටයිටෑන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු සුදුසුකම් ලැබිමේ තරගයෙන් ලකුණු 39 ක ජයක් වාර්තා කළ ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම හෙට පැවැත්වීමට නිියමිච අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (18 දා) පස්වරුවේදී සමත්වූවේය.
මෙම තරගයෙන් පරාජයට පත් වුවද හම්බන්තොට කණ්ඩායමට තවදුරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තබාගත හැකි වන්නේ මෙම තරගාවලියේදි පරාජිතයින් ඉවත් කිරීමේ තරගය හෙවත් එලිමිනේටර් තරගයක් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇති බැවිනි. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි ස්ථානයේ සිට තරගවදිනු ලබන කණ්ඩාම් දෙකෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම සමඟ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී හම්බන්තොට කණ්ඩායමට තරග වැදීමට සිදුවනු ඇත.
කුසල් මෙන්ඩිස්ගෙන් සවිගැන්වුණු ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම ලබා දුන් ලකුණු 126 ක ඉලක්කයක් හඹා ගිය හම්බන්තොට කණ්ඩායමට ට්‍රෙවීන් මැතිව් ප්‍රමුඛ ජැෆ්නා පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පන්දුවාර 9.3 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 85 ක් පමණි. සමස්ථ තරගාවලියේදීම බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්වූ පන්දු යවන්නා බවට පත්ව සිටින ට්‍රෙවීන් මැත්ව් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් තම පන්දුවාර 4 දී ලකුණු 13 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් බිද හෙළීමට සමත්වූවේය. මෙවර තරගාවලියේදී කඩුලු 4 ක් දවා ගත් දෙවැනි අවස්ථාව වශයෙන් සනිටුහන් වන මෙම දක්ෂතාවත් සමග ට්‍රෙවීන් තරගාවලියේ කඩුලු 12 ක් ලබා වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන්නේය. ඔහුට අමතරව ප්‍ර මෝද් මදුෂාන් කඩුලු 2 ක් දවා ගනිද්දී නුවන් තුසාර සහ ජෝර්ජ් ගාර්ට්න් එක් කඩුල්ල බැගින් බිද හෙළමින් හම්බන්තොට ඉනිිම මට්ටු කළහ.
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 25 කින් ලකුණු 47 ක් රැස් කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ද තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. මෙම සුපිරි පිතිහරඹයත් සමඟ කුසල් මෙම තරගාවලියේ ලකුණු 200 සීමාව කඩඉම පසු කළ පළමු පිතිකරුවා බවට පත්වූවේ මෙම ඉනිම ද නොබිඳිව තබා ගනිමිනි.
ඉනිම ආරම්භයේ සිටම අවසානය දක්වා කඩුල්ලේ රැදී සිටි කුසල්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ටොම් අබෙල් (23) සමග එක්ව පන්දු 25 කදී ලකුණු 51 ක් රැස් කළේ පන්දු යවන්නන්ට කිසිදු ඉන්පාසුවක් ලබා නොදිමිනි. අවසන් පන්දුවාරයේදී කිසියම් හේතුවක් අබෙල් පිටියෙන් ඉවත්වූ අතර ඒ වෙනුවට පැමිණි නායක ඩේවිඩ් වීස් පන්දු 5 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 18 ක් රැස් කොට කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම වේගවත් කළේය.
ජැෆ්නා ටයිටෑන්ස් පන්දුවාර 10 කදී කඩුලු 4 කට ලකුණු 124 යි – කුසල් මෙන්ඩිස් 47*, චරිත් අසලංක 17, ටොම් ඇබෙල් 23, ඩේවිඩ් වීස් 18*
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පන්දුවාර 9.3 කදී සියලු දෙනා දැවී ලකුණු 85 යි – ෂෙවෝන් ඩැනියෙල් 13, සබීර් රෙහ්මාන් 15, සහන් ආරච්චිගේ 12, ඉසුරු උදාන 23, ට්‍රෙවීන් මැතිව් 13/4, ප්‍ර මෝද් මදුෂාන් 15/2