ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20 දා) පැවැති අති විශේෂ මහ සභා රැස්වීමේදී ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයක් කිරීමට එම සාමාජිකයින්ගේ අනුමැතිය හිමිවිය. ඒ අතර එහි ඇති වැදගත්ම කරුණ බවට පත්වූයේ මෙතෙක් කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයින්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම සඳහා අනුමැතිය ලබාදීමට එම සාමාජිකයින් කටයුුතු කිරීමයි. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉතිහාසයේ සුවිශේෂී සංධිෂ්ඨානයක් පසු කිරීමක් ලෙස සැලකිය හැක.
නව ඡන්ද ව්‍යුහය මගින් එම ඡන්ද අයිතිය තීරණය කරනු ලබන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩා සමාජ මට්ටමින් දස්කම්වලට අනුව ඉහළම පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ පමණක් වන අතරම සියලුම සුදුසුකම් ලත් ක්‍රිකට් සමාජ සහ සම්මේලනවලට මින් ඉදිරියේදී එක් ඡන්දයක් පමණක් බැගින් හිමිවීම විශේෂත්වයක් වේ.
මීට අමතරව අද පැවැති අති විශේෂ මහ සභා රැස්වීමේදී මූල්‍ය කලමනාකරණයේ විනිවිධභාවය ශක්තිමත් කරළීමේ පිළියමක් ලෙස විගණන කමිටුවක්, ආයෝජන සහ අයවැය කමිටුවක් සහ ආශ්‍රිත ගනුදෙනු කමිටුවක් ස්ථාපිත කිරීමටද සාමාජිකයින් ඒකමතිකව අනුමැතිය ලබා දෙන ලදී. මෙම සුවිශේෂී මුලපිරීමත් සමඟ රට පුරා ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ පාර්ශ්වකරුවන් වන සාමාජිකයින් වෙනුවෙන් සම මට්ටමේ පහසුකම් සහිත ක්‍රීඩාංගණ ලබාදීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කර සිටියි.
මෙම ව්‍යවස්ථාමය සංශෝධනය හරහා වෘත්තීමය භාවය, විනිවිධත්වය සහ කුසලනතා මත පදනම් වූ පාලනය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ථ වර්ධනයට මග සලසනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය බවට පත්ව තිබේ.
ඉහත සංශෝධනයන්ට අමතරව 2025 වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා වන නිලවරණ කමිටුව පත් කිරීමද මෙම අති විශේෂ මහ සභා රැස්වීම අතරතුරදී සිදුවිය. එහිදී විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය ඇතුළු පංච පුද්ගල මැතිවරණ කමිුවක් ද පත් කර ගැනීම අද දිනයේදී සිදුවිය.
එම කමිටුව හරහා 2025 වසරේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණ කටයුතු එම කමිටුව විසින් සූදානම් කොට අධීක්ෂණය කෙරෙනු ඇත.