වසර දෙදහස් හයසියයකට ඈත අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් අද (11) දිනයේ නැවත වරක් ජගත් ප්‍රජාවගේ විශේෂ අවධානයට යොමු වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙය වීමෙන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ සහභාගිත්වයෙන් ප්‍රථම වරට ටී දහය සුපර් ලීග් තරගාවලිය ආරම්භ කිරීමෙනි.
මෙරට ඉතිහාසයේ අවස්ථාවන් ගණනාවකදීම අපගේ මුතුන් මිත්තන් විවිධ ජයග්‍රහණයන් රැසක් අත්කර ගෙන සිටින කන්ද උඩරට රාජධානියේ පල්ලේකැලේ දී මේ ජාත්‍යන්තර තරගාවලිය ද සංවිධානය වීම ද ඉතිහාසයට නව පිටුවක් පෙරළීමකි.
ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රිකට් සමුළුවේ මුල් පිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු නිල මඩුල්ලට හිමි වීමෙන් පසුව මේ තරගාවලිය මෙහිදී සංවිධානය වීම දෛවයේ ආශිර්වාද ජනක සිදුවීමකි.
විවිධ රටවල මෙතෙක් පැවැති ටී දහයේ සුපර් ලීග් තරගාවලියන්හි විශේෂ දක්ෂතා දක්වා ජාත්‍යන්තර නමක් දිනා සිටින මතීෂ පතිරණ, භානුක රාජපක්ෂ, තිසර පෙරේරා, දසුන් ශානක, නුවන් තුෂාර සහ ඉසුරු උදාන යන මෙරට ක්‍රීඩක ලැයිස්තුවට අද (11) ඇරැඹෙන තරගාවලිය තුළින් තවත් ක්‍රීඩකයන් රැසක්ම ඇතුළත්ව සිටිති.
ජැෆ්නා ටයිටන්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, නුවරඑළිය කින්ග්ස්, කළම්බු ජගුවර්ස්, කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස් කණ්ඩායම් හයේ විචිත්‍රවත් වු වෛවර්ණ ඇඳුමින් සැරසුණු ක්‍රීඩකයන්ගේ ද තරගාවලි සංවිධායක නිලධාරීන්ගේ සහ විනිසුවරුවන්ගේ සහභාගිත්වයෙන් මෙදින (11) පැවැති සමාරම්භක උලෙළ චාම් සහ ගාම්භීර බවක් ද ඉසිලීය.
කණ්ඩායම් හය ‘ඒ‘ සහ ‘බී‘ යනුවෙන් කොටස් දෙකකට බෙදී ලබන 19 තෙක් තරග විසිපහකට (දිනකට තුන බැගින්) සහභාගි වී එයින් ජය ගන්නා කණ්ඩායමට පිරිනැමෙන විශේෂිත වු කුසලානය බුමුතුරුණක් මත වේදිකාවේ ප්‍රදර්ශනය කෙරුණු දක්නට ලැබිණි.
ජාතික ගීය ගැයීම ඇතුළු චිරාගත සම්ප්‍රදායනට මුල්තැනක් දෙමින් පැවැති සමාරම්භක උත්සව අවස්ථාව ටී දහය සුපර් ලීග් තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩංවල සමඟ කණ්ඩායම් හිමිකරුවන් වන ඉන්දීය ජාතික නවාබ් ෂාජි උල් මුල්ක් (ඉන්දියාවේ මුල්ක් හෝල්ඩින් සමාගමේ සභාපති) සහ අනිල් මොහාන් (අයි.පී.ජී. සමුහයේ සමාරම්භක ප්‍රධාන විධායක) වේදිකාවට පිවිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති ෂම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරී මඩුල්ල සමඟ නිල වශයෙන් තරගාවලිය සමාරම්භය ප්‍රකාශයට පත් කළහ.
මෙදින පැවැති තරග තුන නැරැඹීමට මහනුවර ඇතුළු විවිධ ප්‍රදේශවලින් විශාල ජනකායක් පැමිණ සිටින අයුරු ද දක්නට ලැබිණි.
- බන්දුල මොල්ලිගොඩ