නවසීලන්තය සමඟ පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට එහි ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සැළසුම් ඒ ආකාරයෙන්ම සාර්ථක වුවහොත් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ඇතැයි නායක චරිත් අසලංක අද (20) ප්‍රකාශ කළේය.
නවසීලන්ත විස්සයි 20 කණ්ඩායම ලොව ප්‍රබලම කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකි යැයි පවසන චරිත් අසලංක විශේෂයෙන්ම නවසීලන්තය ඔවුන්ගේ මව්බිමේදීම පරාජය කිරීම අසීරු කරුණක් යැයි ද පවසයි.
මීට පෙර මෙහි පැමිණි අවස්ථාවන්හි අප තියුණුම තරගවලට සහභාගි වී ජයග්‍රහණයන් ද අත්කර ගෙන සිටින බව කී ශ්‍රී ලංකා නායක මෙවර මෙහි පැවැති පෙර පුහුණු තරගය ජය ගැනීම කණ්ඩායමට වාසියක් මෙන්ම ක්‍රීඩකයනගේ මානසික මට්ටම ඉහළ මට්ටමක පවත්වා ගැනීමට උපකාරී වන බව ද කීය.
නවසීලන්තයේ තණතිලි වේගවත් මෙන්ම පන්දු ඉපිලෙන (බවුන්සර්) සහ දෝලනය වන ස්වභාවයක් දරන බව කී ඔහු අප වේලාසනින්ම මෙහි පැමිණියේ මේ තණතිලිවලට හුරුවීමට යැයි ද අප ක්‍රමයෙන් මේ වන විට ඊට උචිත ලෙස ක්‍රීඩා කරන බව ද කීවේය.
මීට පෙර මෙම ප්‍රථම විස්සයි 20 තරගය පැවැත්වෙන මවුන්ට් මවුන්ගානුල් බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී මේ කණ්ඩායම් දෙක මුණගැසුණු අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම තියුණුම තරගයකින් පසුව ජයගත් බව ද ශ්‍රී ලංකා නායකයා මෙහි දී පෙන්වා දුන්නේය.
නවසීලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මෙහි පැමිණෙන සෑම අවස්ථාවකම විශාල ලෙස ක්‍රීඩාංගණයන්ට රොක් වී කණ්ඩායම දිරිමත් කරන බව පැවසු චරිත් අසලංක ලංකා කණ්ඩායම ලොව කුමන රටක සංචාරය කළත් ක්‍රීඩාලෝලීන්ගේ සහය මේ අයුරින්ම ලැබීම තමා අගය කරන බව ද පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීමට සහ තරග වැදීමට නවසීලන්තය කදිම සහ අලංකාර ස්ථානයක් ලෙස තමා දකින බව කී චරිත් අසලංක නවසීලන්තයේ ක්‍රීඩකයන් මෙන්ම ජනතාව ද ශ්‍රී ලාංකිකයනට හිතවත් කුළුපග පිරිසක් ලෙස තමා දකින බව ද කීවේය.
සෙනසුරාදා (28) ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලියත් ඉන් පසුව ජනවාරි 05, 08 හා 11 දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියත් ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ යැයි ද ශ්‍රී ලංකා නායකයා ප්‍රකාශ කළේය.