ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නන් දෙදෙනකු වන ඔස්ට්‍රේලියාවේ පා දඟ පන්දු යවන ෂේන් වෝන් සහ ශ්‍රී ලංකාවේ පිට දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන ලද සුවිශේෂී සේවය ඇගැයීම සිහිගන්වමින් නම් කරන ලද වෝන් – මුරලිදරන් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (29 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවට වසර 25 ක් සැපිරීම නිමිතිකොට ගෙන පළමුවෙන්ම මෙම තරගාවලිය ‘වෝන් – මුරලිදරන්‘ කුසලාන තරගාවලිය වශයෙන් නම් කිරීමට පියවර ගැණින. ලොව එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම දඟ පන්දු යවන්නන් දෙදෙනා අළලා මෙම ශූරතා කුසලාන නම් කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරන ලද යෝජනාවට, ඔස්ට්‍රේලියාව යහපත් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තරගාවලිය 2007-08 වසරේදී ආරම්භ විය.
එහි අභිනව තරගාවලිය 2007-08 වසරේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්විණ. රිකී පොන්ටින් ගේ නායකත්වය යුත් ඔස්ට්‍රේලියාව එම තරගාවලිය 2-0 ක් වහයෙන් ජය ගනිමින් එම ශූරතා කුසලාන ඔස්ට්‍රේලියාව තුළ රඳවා ගැනිමටසමත්වූවේය. එම තරගාවලිය යටතේ පැවැති තරග 2 දීම දක්වන ලද දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා සම්මාන ද්විත්වයම ලද වේග පන්දු යවන බ්‍රෙට් ලී තරගාවලියේ වීරයා වශයෙන් පිදුම් ලැබුවේය.
එම තරගාවලියෙන් අනතුරුව නැවත වතාවක් ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට 2011 වසරේ පැමිණියද තරග 3 කින් සමන්විත එම තරගාවලියේද ජය ඔස්ට්‍රේලියාව හිමිකර ගනු ලැබුවේ 1-0 ක් වශයෙනි. අනතුරුව නැවතත් 2012-13 වසර වලදී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවේදී සහභාගිවූ තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් ලැබීම නිසා පිට පිටම තරගාවලි 3 කම ශූරතාව තමන් සන්තකයේම තබා ගැනීමට ඔස්ට්‍රේලියානුවන් හැකියාව ලැබිණ.
කෙසේ වෙතත් වෝන් – මුරලිදරන් කුසලානයේ ශූරතාවයක පහස විඳ ගැනීමට ශ්‍රී ලංකාවට තවත් වසර 4 ක කාලයක් හෙවත් 2016 වසර වන තෙක්ම බලාගෙන සිටීමට සිදුවිය. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ පැවැති ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ල කණපිට හරවන ලද්දේ තරගාවලිය 3-0 ක් ලෙස ඔස්ට්‍රේලියානුවන්ව පූර්ණ තරගාවලි පරාජයකට ඇද දමමිනි. එවකට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන ලද්දේ වර්තමාන තරගාවලියේ නායකයා ලෙසින්ම කටයුතු කරනු ලබන ස්ටීවන් ස්මිත් විසින් වන අතර, එම පරාජය ස්මිත්ගේ තරග දිවියේ සටහන් වූයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට පත්ව පරාජයට පත්වූ පළමු අවස්ථාව වශයෙනි.
එම තරගාවලිය යටතේ පැවැති පළමු තරගයේදී කුසල් මෙන්ඩිස්ද, දෙවැනි තරගයේදී ඩිල්රුවන් පෙරේරාද සහ තෙවැනි තරගයේදී රංගන හේරත්ද තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද අතර තරගාවලියේ වීරයා සම්මානයෙන්ද හේරත් පිදුම් ලැබීය.
එහෙත් එම වසරේ තමන් සංතකයේ රඳවා ගත් වෝන් – මුරලිදරන් කුසලාන ශ්‍රී ලංකාවට තබා ගත හැකි වූයේ තවත් වසර 2 ක කාලයක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම 2018-19 වසරේද ඔස්ට්‍රේලියාවේදී සිදුකරන ලද ටෙස්ට් තරග සංචාරය 2-0 ක් ලෙස ජය ගැනීමට සත්කාරකයින් සමත්විය. ටිම් පේන්ගේ නායකත්වය යටතේ එවකට තරග වැදි ඔස්ට්‍රේලියානු කණ්ඩායම නැවත වරක් වෝන් – මුරලිදරන් කුසලාන තමන් සතු කර ගත්තේ වැඩි කාලයක් එම කුසලාන ශ්‍රී ලංකාව සන්තකයේ තබා ගැනීමට ඉඩ කඩ අහුරාලමිනි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් වතාවට ඉකුත් 2022 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී තරගාවලිය 1-1 ක් ලෙස දෙපිළම සමව අවසන් කර ගැනීමට සමත්වුවද අවසන් වතාවට ශූරතාව තමන් සතුවීම නිසා තවදුරටත් වෝන් – මුරලිදරන් කුසලාන ඔස්ට්‍රේලියානුවන් සත්කයේම තබා ගැනීමට ඔවුනට අවස්ථාව උදාවිය. එම තරග 2ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති අතර පැට් කමින්ස් ඔස්ට්‍රේලියානු කණ්ඩායමද දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමද මෙහෙයවනු ලැබීය.
ප්‍රභාත් ජයසූරියගේ මංගල ටෙස්ට් තරගාවලිය බවට පත්වුණු එම තරගාවලියේදී ඔහු කඩුලු 6 බැගින් අවස්තා 2 කදී දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වද්දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා වීමේ භාග්‍ය හිමිකරගත් දිනේෂ් චන්දිමාල් එම තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.
ඒ අනුව වෝන් – මුරලිදරන් ටෙස්ට් ශූරතා කුසලාන ආරම්භ වුණු දා පටන් මෙතෙක් ක්‍රියාත්මක තරගාවලි 6 දී වැඩි ගෞරව අත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව සිටියි. එම කාල වකවානුවේදී ඔස්ට්‍රේලියානුවන් ටෙස්ට් තරගාවලි 4 ක ජය වාර්තා කරද්දී ශ්‍රී ලංකාව එක් ටෙස්ට් තරගාවලියක ජය වාර්තා කර තිබේ. එක තරගාවලියක් ජය පැරදුමෙන් තොරව අවසන්ව තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ හෙට ගාල්ලේදීි ආරම්භ වන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රතිඵලය කුමක් වුවත් පෙර පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි. මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග 2 ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත්, එම අවසන් මහ තරග වරමට පිවිසීමට තරම් ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමි නොවනු ඇත.